පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමඟින් පවත්වාගෙන යෑම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
සෞඛ්‍ය ලේකම්වරයා මේ බව පැවසුවේ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේත්, පුත්තලම මූලික රෝහලේත් ලබා දෙන රෝගී ප්‍රතිකාර සේවාවල ප්‍රගතිය සහ රෝහල් සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට විශේෂ නිරීක්ෂණයක යෙදුණු අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ලේකම්වරයා මෙලෙස ද කීවේය.
“දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල්වල පවතින අඩුපාඩු සොයා බලමින් සහ කඩිනම් විසඳුම් දෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.”
බාහිර රෝගී අංශ, සායන, වාට්ටු, රසායනාගාරය, ඖෂධ ගබඩා, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, නේවාසිකාගාර, මුළුතැන්ගෙය සහ රෝහලේ ක්‍රියාත්මක නියමු ව්‍යාපෘති සහ රෝහල් සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කෙරිණි.
තවද නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක ද නිරත වෙමින් කාර්ය මණ්ඩලවලට පවතින රාජකාරි ගැටලු, අනෙකුත් මානව සහ භෞතික සම්පත් ගැටලු පිළිබඳව විමසීමටත්, ඒවාට විසඳුම් දීමටත් කටයුතු කෙරිණි.
හලාවත දිස්ත්‍රික් මහ රෝහලට නව ගිලන් රථ දෙකක් කඩිනමින් දීමට සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කිහිපයක් දීමට ද මෙහිදී තීරණය විය. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දී ඇති මූල්‍ය ප්‍රතිපාදන ඵලදායීව යොදා ගැනීමට කටයුතු කරමින් රෝහලේ සුළු අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ද මෙහිදී උපදෙස් දුන් අතර, රෝහලෙන් දෙන රෝගී ප්‍රතිකාර සේවා සෞඛ්‍ය ලේකම්වරයාගේ විශේෂ ඇගයීමට ද ලක් කෙරිණි.
පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා විසින් රෝහලෙන් දෙන රෝගී ප්‍රතිකාර සේවාවල වත්මන් තත්ත්වය, ඉදිරි රෝහල් සංවර්ධන වැඩ කටයුතු, රෝහලේ මානව හා භෞතික සම්පත් පිළිබඳ ගැටලු, නේවාසිකාගාර අවශ්‍යතා, දැනට අබලන්ව පවතින පැරණි හදිසි ප්‍රතිකාර ඒකක ගොඩනැඟිල්ල වෙනුවට නව ගොඩනැඟිල්ලක අවශ්‍යතාව සහ නිරතුරුව ගංවතුරට යට වන රෝහලේ වාට්ටු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා දැනුම්වත් කෙරිණි.
මේ රෝහල් නිරීක්ෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධක්ෂ ජනරාල් (සැලසුම්) විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, (රසායනාගාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහත්වරු ද එක්ව සිටියහ.