ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය විමර්ශනය කරන විට නීති වෘත්තිකයන්, ඉඩම් හිමි වැවිලිකරුවන් මෙන්ම සමාජයේ ගෞරවය දිනා ගත් ප්‍රභූවරුන් වැඩිදෙනකු මැති සබයට පිවිසීමේ වරම හිමිකරගත් ආකාරය පෙනී යනු ඇත. එහෙත් 1956 පැවැති තුන්වැනි පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු එතෙක් පැවැති පාර්ලිමේන්තුවේ සංයුතිය උඩුයටිකුරු කරමින් සාමාන්‍ය පන්තියේ රාජ්‍ය සේවකයන්, කවියන්, ලේඛකයන් මෙන්ම පුවත්පත් කලාවේදීන් ද මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන් ආකාරය දැකගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට අමාත්‍ය පදවියකින් සම්මාන ලැබූ කවියා ලෙස දඹුල්ල හිටපු මන්ත්‍රී ටී.බී. තෙන්නකෝන් මහතා හැඳින්විය හැකිය.
දේශීය දේ අගය කළ එතුමන්ගේ එකම තර්කය වූයේ විදේශීය අධිරාජ්‍ය ගැති සිරිත් විරිත් අත්හළ යුතු බවය. ඒ අනුව ඔහු එය ක්‍රියාවෙන්ම ඉටු කර පෙන්වීය. එතුමන්ගේ ඇඳුම වූයේ ආරිය සිංහල ඇඳුමය. විශේෂයෙන් බණ්ඩාරනායක මැතිඳුන්ගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද සිංහල මහා සභාවේ මහනුවර ශාඛාවේ ලේකම්වරයා වූයේ ටී.බී. තෙන්නකෝන් මහතාය. එම තත්ත්වය පසුකාලීනව ඔහු ජාතික දේශපාලනයේ අවතීර්ණවීමට පෙළඹවූ හේතුව බව සඳහන් කිරීම වැදගත් වේ. සෑම අවස්ථාවකම අරපිරිමැස්මෙන් හා ඉතාම නිහතමානී ලෙස කටයුතු කළ එතුමන් දයාබර සැමියෙක් මෙන්ම දරුවන්ට ඉතා ඇල්මක් දැක්වූ ආදරබර පියකු ද විය.
ටී.බී. තෙන්නකෝන් පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කරන අවධියේ මහනුවර නගර සභාවේ දී ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් පළකරනු ලැබූ වාර්තාව ව්‍යාජ තොරතුරු මත පදනම් වූ බව මන්ත්‍රීවරයකු චෝදනා නඟනු ලැබීය. මේ චෝදනාව මත ඇතිවූ වාචික ආරවුල මත ටී.බී. තෙන්නකෝන් “මං කවදා හරි නාගරික මන්ත්‍රීවරයෙක් වෙලා මෙහාටම ඇවිත් උත්තර දෙනවා”යැයි අභියෝගාත්මකව පවසා ශාලාවෙන් පිටව ගියේය. ඒ අනුව 1946 වර්ෂයේ මහනුවර මහනගර සභාවේ දෙයියන්නෙවෙල අසුන නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි ටී.බී. තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වන තුරුම එහි මන්ත්‍රීවරයා විය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1951 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ දී එහි කැඳවුම්කරු වූයේ ටී.බී. තෙන්නකෝන් මහතාය.
1956 මහමැතිවරණය ආසන්න වන විට මාතලේ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු වූ එච්.බී. තැන්නේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට එකතු විය. මේ හේතුවෙන් ඒ මහතා එම මැතිවරණයේ දී දඹුල්ල ආසනයට තරග කළේ එක්සත් ජාතික පක්ෂයෙනි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළේ ආසනයට ආගන්තුක වූ මහනුවර නගර සභා මන්ත්‍රීවරයකු ලෙස සිටි සුප්‍රකට කවියකු වූ ටී.බී. තෙන්නකෝන් මහතාවය. තරගයට සිටියේ මේ දෙදෙනා පමණය. ඒ අනුව මෙහි දී ඡන්ද 14688 ක් ගත් ටී.බී. තෙන්නකෝන් මහතා, එච්.ඩබ්. තැන්නේ මහතා පරදවා වැඩි ඡන්ද 9155කින් “දඹුල්ල මන්ත්‍රී” ලෙස ජයග්‍රහණය කළේය. 1959 වර්ෂයේ අගභාගය වනවිට ටී.බී. තෙන්නකෝන් මහතා සංස්කෘතික හා සමාජ සේවා උප ඇමැති ධුරයට ද පත්විය. එහි මංගල අයවැය විවාදයේ දී පැවැත්වූ කවි කතාවේ අඩංගු කවි දෙකක් මෙලෙස දැක්විය හැකිය.
අපේ කම්කරු පිරිස වෙනුවෙන් අර්ථසාධක මුදල ඇති කර
වහල් බැම්මෙන් මුදා අරගෙන සුදුසු විදියට පඩි ද වැඩි කර
එපමණක් නොව තවත් දේවල් එමට ඇත මේ රජය ඉටු කර
එහෙත් තව කෙළවරක් වී නැත එන්ට එන්ටම වැඩියි කරදර
බස් සමාගම් හා වරායත් ගතිමු මහජන රජය යටතට
ලස්ස ගණනින් පාඩු සිදුවෙයි ඒක හිටියා රටේ කරුමෙට
උස් අසුන් මත ඉන්න දුන්නොත් තවත් ජනසතු විරෝදීන් හට
හිස් අනාගතයක විපත්තිය අපට පුළුවනි සිතා ගන්නට
ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු බවට පත්වූ මෙතුමා 1960 දී ප්‍රවාහන හා රජයේ වැඩ උප ඇමැති වශයෙන් ද, 1963 දී අධ්‍යාපන උප ඇමැති වශයෙන් ද, සේවය කළේය. ශිෂ්‍ය ගුරු තනතුරු ඇති කොට විශාල පිරිසකට රැකියා අවස්ථා ලබා දීමට හැකි වූයේ ද මේ කාලයේදීය. 1964 සභාග රජයේ අභ්‍යන්තර හා බාහිර වෙළෙඳාම හා සැපයීම් පිළිබඳ උප ඇමැති ලෙස හා 1970 සමගි පෙරමුණ රජයේ සමාජ සේවා හා සංස්කෘතික ඇමැති වශයෙන් ද අගනා සේවයක් කළේය. මහලු නිවාස, වැඩිහිටි නිවාස බවට පත් කරන ලද්දේ ද මෙතුමා විසිනි. එමෙන්ම සංස්කෘතික උප ඇමැති ධුරයේ සිටින කාලපරිච්ඡේදයේ යම්කිසි මුග්ධ පිරිසක් විසින් ලෝක ප්‍රකට සීගිරි බිතුසිතුවම් සූරා තීන්ත පළුදු කොට විකෘති කරන ලදි. මෙසේ විකෘති කරන ලද චිත්‍ර යළිත් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම සඳහා ටී.බී. තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීම යටතේ රජය විසින් අවශ්‍ය පියවර ගනු ලැබිණි. ඒ අනුව ඉතාලියේ අතිදක්ෂ චිත්‍ර ශිල්පි ලුසියානෝ මරෙන්සි ශ්‍රී ලංකාවට ගෙන්වා එම චිත්‍ර පැරණි කාලයේ තිබූ තත්ත්වයටම පත් කිරීමට කටයුතු කරන ලදි. මේ කරුණ තුළින් ටී.බී. තෙන්නකෝන් මහතා කලාවට දැක්වූ විශේෂ ලැදියාව මනාව විද්‍යමාන කෙරේ.
විවිධ අමාත්‍ය ධුර දැරූ ටී.බී. තෙන්නකෝන් මහතා කථානායකවරයාගේ අණ නොතකා අයවැය විවාදවල දී කවි කතා පවත්වා ඇත. ඒ අනුව දඹුල්ලේ ගොවියන්ගේ ජල අර්බුදය හා එයට පිළියම කවියකින් අනාවැකියක් ලෙස කීවේය.
කටුගස්තොට දී මහවැලි ගං මනමාලි
පහළට යානො දී හරහට බැඳ වේලි
උතුරට යොමු කරන තීරණයකි පෝලි
රජරට එයින් නංවනු ඇත ජය කේලි
1977 මැතිවරණයේ දී ටී.බී. තෙන්නකෝන් මහතා හය වන වතාවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දඹුල්ල ආසනයට ඉදිරිපත් විය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ එක්සත් ජාතික පක්ෂයේ කේ.ඩබ්.ආර්.එම්. ඒකනායක මහතාය. මෙම මැතිවරණයෙන් වැඩි ඡන්ද 24, 793ක් ගත් කේ.ඩබ්.ආර්.එම්. ඒකනායක මහතා, ටී.බී. තෙන්නකෝන් මහතා පරදවා වැඩි ඡන්ද 8829 කින් දඹුල්ල ආසනය ජය ගත්තේය. මේ අනුව පස් වතාවක්ම දඹුල්ල ආසනය ජයගත් 1956 සිට දඹුල්ල මන්ත්‍රී ධුරය දැරූ ටී.බී. තෙන්නකෝන් මහතාගේ දේශපාලන දිවිය ද නිමා විය. එසේම 1980 ජනවාරි මස 28 වැනි දින ටී.බී. තෙන්නකෝන් මහතා දැයෙන් සදහටම සමුගත්තේය. පසුකාලීනව ඔහුගේ පුතණුවන් වන යසරත්න තෙන්නකෝන්, තිළිණ බණ්ඩාර තෙන්නකෝන් හා ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් පාර්ලිමේන්තුව තුළ හෙළ කවීත්වයෙන් කවිකතා පැවැත්වූහ.