ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් ඊයේ (23) නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස විදෙස් රටවල් කිහිපයක් තම පුරවැසියන්ට දැනුම් දුන්නේය.
අමෙරිකාවට අමතරව එක්සත් රාජධානිය, රුසියාව, නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව යන රටවල් තම පුරවැසියන් වෙත අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙස උපදෙස් දී සුළු වේලාවකට පසු ඊශ්‍රායලය සිය පුරවැසියන්ට දැනුම්දී ඇත්තේ අරුගම්බේ වෙරළ කලාපයට අමතරව ශ්‍රී ලංකාවේ දකුණු සහ බස්නාහිර වෙරළ කලාපවලින් ද ඉවත් වන ලෙසය. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම දැනුම් දීම කර ඇත්තේ ඊශ්‍රායල් ආරක්ෂක කවුන්සිලය විසින් බවය.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාල නිවේදනය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස සෙසු රටවල් තම පුරවැසියන් දැනුවත් කර තිබේ.
තර්ජනයක් එල්ල වී ඇති ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන්ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සිය දැනුම් දීම මඟින් අනතුරු අඟවා තිබිණි. එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බව පවසන ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සංචාරක උපදේශනයක් නිකුත් කරමින් යම් සැකකටයුතු දෙයක් දුටුවහොත් 119 හෝ 1997 දුරකතන අංකයවලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
මේ අතර අවදානමක් පවතින එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එක්සත් රාජධානිය සිය සංචාරකයන්ට දැනුම් දෙන අතර අවශ්‍ය අවස්ථාවල මෙරට ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කරයි. මේ අතර කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවේ සිටින රුසියානු ජාතිකයන්ට විශේෂ දැනුම් දීමක් කර තිබෙන අතර අවධානයෙන් සිටින ලෙසත් විශාල ලෙස පිරිස් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසත් එමඟන් රුසියානු ජාතිකයන්ට දැනුම් දී ඇත.
ආරුගම්බේ ප්‍රදේශයේදී විදෙස් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට ලැබුණු තොරතුරු මත ශ්‍රී ලංකා පොලිසිය නිල නිවේදනයක් නිකුත් කර ඇති බව ද X පණිවිඩයක් නිකුත් කරමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය පවසයි.