වසර 140කට අධික කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ව්‍යස්ථාව කිහිපදෙනකුට පමණක් එක්ව සංශෝධනය කළ නොහැකි බවත්, ඒ සඳහා වාර්ෂික මහ සභා රැස්වීමකින් පවත්වන නිලධාරීන් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීමෙන් පසු පත්කරගනු ලබන ව්‍යවස්ථා සමාලෝචන කමිටුවක් මගින් සිදු විය යුතු බවත් ඌව පළාත් රග්බි සංගමයේ ලේකම් ඩෙන්සිල් ඩාලින් ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය.
ඔහු මේ අදහස පළ කළේ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් රග්බි ආයතනයේ නිලවරණය පවත්වා නිලධාරීන් පත් කරගැනීම ප්‍රමාද වූ බවට පළාත් රග්බි සංගම්වලට එල්ල වන චෝදනාවට ප්‍රතිචාර දක්වමිනි. ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ව්‍යවස්ථා සංශෝධනයට හා නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට ලෝක රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති කාලසීමාව ලබන නොවැම්බර් මස 8 වැනිදා නිමාවට පත්වන අතර, පළාත් සංගම් විසින් අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබූ නඩුවෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 6 වැනිදා බව වාර්තා වේ.
පළාත් රග්බි සංගම් විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමෙන් ව්‍යවස්ථා සංශෝධනය හා නිලවරණය ප්‍රමාද වූ බවට ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු චෝදනා එල්ල කරද්දී ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව සහ වත්මන් රග්බි අර්බුදයට බලපෑ සත්‍ය කරුණු පැහැදිලි කිරීමට ක්‍රීඩා ඇමැතිනිය ලෙස ද කටයුතු කරන අගමැතිනිය ආචාර්ය හරිනි අමරසූරිය මුණගැසීමට ද එම පළාත් සංගම් නියෝජිතයන් සූදානමින් පසුවන බව ‘දිනමිණ’ට වාර්තා වේ.
මේ පිළිබඳ ‘දිනමිණ’ කළ විමසුමකදී ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ කඩිනමින් රග්බි නිලවරණය පවත්වා නිලධාරි මණ්ඩලය පත් කරගැනීමට රග්බි ක්‍රීඩාවේ ලියාපදිංචිය අත්හිටුවූ අවස්ථාවේ සිටම කටයුතු සූදානම් කළ බවය.
“මම කිව්වේ ඉක්මනට මේක ඉවරයක් කරගමු කියලයි. ඉක්මනින් විශේෂ මහ සභාවක් පවත්වලා ව්‍යවස්ථා සංශෝධනය සිදු කරලා වාර්ෂික මහ සභා රැස්වීමකට යමු කියලා. මුලින් එකඟවෙලා පස්සේ පළාත් සංගම් මට ලිපි මඟින් දැනුම් දුන්නේ අලුත් ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි කියලයි. මම කිසිම අවස්ථාවක රග්බි නිලවරණය ප්‍රමාද කරලා නෑ. හැම අවස්ථාවේදීම පළාත් සංගම් තමයි ඒ අවස්ථා නැති කරගත්තේ. දැන් ලෝක රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන කාලසීමාව අවසන් වෙන්නත් ළඟයි. ආයේ දීර්ඝ කරන ලෙස මම පසුගියදා ලිඛිතව එයාලාගෙන් ඉල්ලීමක් කළා. ඒක හරි අමාරු වැඩක්. අපිට මෙහෙම වුණේ පළාත් සංගම් අධිකරණ මාර්ගයට ගිය හින්දයි. ඒක එහෙම නොවෙන්න අපිට නිලවරණයක් පවත්වලා තියෙන හැම ප්‍රශ්නයම ඉවර කරගන්න තිබුණා.” ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු එසේ කීවේය.
මේ අතර රග්බි ව්‍යවස්ථා සංශෝධනය කිහිපදෙනකු පමණක් එක්ව සිදු කර ඇතැයි ද, එවැනි ව්‍යස්ථා සංශෝධනයක් පිළිගැනීමට සූදානම් නැතැයි ද පළාත් සංගම්වල අදහස වී තිබේ.
“ව්‍යවස්ථා සංශෝධනයකට අපි හැමෝම එකඟවුණා තමයි. ඒත් ක්‍රීඩා සංගමයක ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න ඕන ක්‍රීඩා පනතට හා ක්‍රීඩා සංගමයේ ව්‍යවස්ථාවට අනුවයි. වාර්ෂික මහ සභා රැස්වීමක් පවත්වලා නිලධාරි මණ්ඩලය පත් කරගත්තට පස්සේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවලා ව්‍යවස්ථා සමාලෝචන කමිටුවක් පත් කරලා, එයාලා අධ්‍යයනය කරලා ඒ අනුව තමයි සිද්ධ වෙන්න ඕනා. මේ සංශෝධිත ව්‍යවස්ථාව හැදුවේ කවුද කියලවත් අපි දන්නේ නෑ. අපිට කියනවා ලෝක රග්බි සම්මේලනයෙන් එව්වේ කියලා. ඒක හැදුවේ ලෝක රග්බි සම්මේලනයෙන් නෙවෙයි. ඒක ලංකාවේම කිහිපදෙනෙක් එකතුවෙලා ලෝක රග්බි සම්මේලනයට හදලා යවපු එකක්.” ඌව පළාත් රග්බි සංගමයේ ලේකම්වරයා එසේ කීවේය.