කොදෙ­ව්වන්ට එරෙහි එක්දින තර­ගා­ව­ලිය ශ්‍රී ලංකා පිල කල් ඇතිව 2-0කින් ජය ගනියි-නායක චරි­ත්ගෙන් පිට පිට දෙවැනි ජය­ග්‍රාහි අර්ධ ශත­කය

ශ්‍රී ලංකාව සහ බට­හිර ඉන්දීය කොදෙව් අතර පැවති දෙවැනි එක්දින තර­ග­යෙන් කඩුලු 5ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල තවත් තර­ග­යක් ඉති­රිව තිබි­යදී එක්දින තර­ගා­ව­ලිය 2-0ක් ලෙස ජය වාර්තා කළේය. කාසියේ වාසිය දිනා­ගත් ශ්‍රී ලංකා පිලේ ආරා­ධ­නා­වෙන් මුලින් පන්දු­වට පහ­ර­දුන් කොදෙව් පිල ලකුණු 189ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ කඩුලු 5ක් දැවී පන්දු 34ක් ඉති­රිව තිබි­යදී ලකුණු 190ක් ලබා ජය කණුව පසු කළේය.

ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අස­ලංක නාය­ක­ත්වයේ ඉනි­මක් ගොඩ­න­ඟ­මින් පන්දු 61ක් තුළ දී හයේ පහ­රක් හා හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 62කින් තම 14 වැනි එක්දින අර්ධ ශත­කය සම්පූර්ණ කළේය. දින තුන­කට පෙර පැවති පළමු එක්දින තර­ග­යේදී අස­ලංක කොදෙ­ව්වන්ට එරෙ­හිව ලකුණු 77ක් ලබා ගැනීම තර­ගා­වලි ජය­ග්‍ර­හ­ණ­යට විශාල දාය­ක­ත්ව­යක් විය. ඊයේ දිනයේ අස­ලං­කට අනගි සහා­යක් දුන් ජනිත් ලිය­නගේ පන්දු 34කදී හතරේ පහර 2ක් හා හයේ පහ­රක් සමඟ ලකුණු 24ක් ලබා ගැනී­මට සමත් වූ අතර, 5 වැනි කඩු­ල්ලට දෙදෙනා ලකුණු 55ක් එක් කළහ.

ආර­ම්භක පිති­කරු නිශාන් මධුෂ්ක හා සදීර සම­ර­වි­ක්‍රම ලකුණු 38 බැගින් ලබා ගැනී­මට සමත් වූ අතර, දෙදෙ­නාම හතරේ පහර 6 බැගින් එල්ල කළහ. වෙන­සක් වූයේ මධුෂ්ක පන්දු 44කදී හා සම­ර­වි­ක්‍රම පන්දු 50කදී ශ්‍රී ලංකා ඉනිම ශක්ති­මත් කිරී­මය. කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 11ක් ලබා සිටි­යේය.

පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යට ඊයේ පස්ව­රුවේ ඇද­හැ­ලුණු වර්ෂාව හේතු­වෙන් පැය දෙකක් ප්‍රමාද වී ආරම්භ කළ තර­ගයේ ඉනි­මක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 44කට සීමා කෙරිණි. ශ්‍රී ලංකා දඟ පන්දුව හමුවේ මුලදී නිරු­ත්ත­රවූ කොදෙව් ක්‍රීඩ­කයෝ අව­සන් ඕවර කිහි­ප­යේදී ආක්‍ර­ම­ණ­ශිලී ලෙස යළි හිස එසැ­වූහ. කොදෙව් පිල මුලදී අස­ර­ණ­භා­ව­යට පත් කිරී­මට මහිෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු සමත්වූ අතර, ආර­ම්භක පිති­ක­රු­වන් ලෙස පිටි­යට පිවිසි  ඇලික් අතන්සේ හා බ්‍රෙන්ඩන් කිං ලකුණු 17ක් වෙද්දී ක්‍රීඩා­ගා­ර­යට හරවා යැවූහ.

දඟ පන්දුව ඉදි­රියේ අස­රණ වූ කොදෙව් පිති­ක­රු­වන් 4ක් දවා ගැනී­මට වනිඳු හස­රංග සමත්වූ අතර, පළමු තර­ග­යට ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සේ වෙනු­වට කණ්ඩා­ය­මට එක්වූ මහිෂ් තීක්ෂණ හා වේග පන්දු යැවූ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙළා ගත්හ.

කඩුලු 8ක් ලකුණු 58කට දැවී ගොස් තිබි­යදී එක්වූ ෂර්ෆේන් රද­ර්ෆඩ් හා ගුඩා­කේෂ් මෝති ශ්‍රී ලංකා පන්දු යව­න්නන්ට පහර පිට පහර එල්ල කර­මින් එක් කළ වාර්තා­ගත ලකුණු සබ­ඳ­තා­වෙන් කවු­රුත් නොසිතූ ආකා­ර­යට ටැක්සි මීට­ර­යක් සේ කොදෙව් ලකුණු පුව­රුව ඉහළ ගියේය.

බට­හිර ඉන්දීය කොදෙව් එක්දින ක්‍රිකට් ඉති­හා­සයේ 9 වැනි කඩු­ල්ලට වැඩිම ලකුණු සබ­ඳ­තාව පල්ලෙ­කැලේ ක්‍රීඩාං­ග­ණ­යේදී එක් කළ රද­ර්ෆඩ් හා මෝති පන්දු 115කදී ලකුණු 119ක් වාර්තා පොතට එක් කිරී­මට සමත් වූහ. එය ශ්‍රී ලංකා­වට එරෙහි එක්දින තර­ග­ය­කදී වසර 28කට පසු 9 වැනි කඩු­ල්ලට එක්වූ වැඩිම ලකුණු සබ­ඳ­තාව ද විය. 1996දී කෙන්යාවේ නයි­රෝබි නුව­රදී කෙන්යා පිලේ හිතේෂ් මෝදි හා ආසිප් කරීම් ගොඩ­නැඟූ ලකුණු 89ක සබ­ඳ­තාව මෙතෙක් ප්‍රති­වාදී කණ්ඩා­ය­ම­කින් ශ්‍රී ලංකා­වට එරෙ­හිව 9 වැනි කඩු­ල්ලට වාර්තා වූ වැඩිම ලකුණු ගණන ලෙස වාර්තා පොතේ ලියැවී තිබු­ණද, ඊයේ දිනයේ රද­ර්ෆඩ් – ගුඩා­කේෂ් යුගල එම වාර්තාව බිඳ දැමුහ.

එමෙන්ම 9 වැනි කඩු­ල්ලට කොදෙව් එක්දින ඉති­හා­සයේ හොඳම ලකුණු සබ­ඳ­තාව ලෙස 2022දී නව­සී­ල­න්ත­යට එරෙ­හිව යනික් කාරීෂ් හා අල්සාරි ජෝෂප් රැස් කළ ලකුණු 85 ඉක්මවා යෑමට ද ෂර්ෆේන් රද­ර්ෆඩ් හා ගුඩා­කේෂ් මෝති සමත් වූහ.

රද­ර්ෆඩ් ලකුණු 23ක් ලබා සිටි­යදී ‘මිඩ් ඕෆ්’හි සිටි ජනිත් ලිය­නගේ අතට දුන් අහස් කූරක් සේ ඉහළ නැඟි පහසු උඩ­ප­න්දුව අත්හැ­රී­මෙන් ශක්ති­මත් වූ ඔහු යළි ලකුණු 72ක් ලබා සිටි­යදී ‘ඩීප් මිඩ් විකට්’හි සිටි නිශාන් මධු­ෂ්කට තවත් උඩ පන්දු­වක් ලබා දුන්නද එම දෙවැනි උඩ පන්දුව ද අත්හැ­රුණි. පන්දු 82කදී හයේ 4ක් හා හතරේ පහර 7ක් එල්ල කළ රද­ර්ෆඩ් ලකුණු 80ක් ලබා සිටි­යදී ‘ඩීප් ස්කුවෙ­යාර් ලෙග්’හි හතරේ සීමාව අසල සිටි දුනිත් වෙල්ලා­ලගේ අතට දුන් උඩ පන්දුව රැක ගැනී­මෙන් ශ්‍රී ලංකා හිස­ර­දය නිමා­වට පත් විය. රද­ර්ෆඩ් තම එක්දින දිවියේ රැස් කළ තෙවැනි අර්ධ ශත­කය මෙය වූ අතර, එය කොදෙව් ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අම­තක නොවනු ඇත. මෝති පන්දු 61කදී හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 50ක් ලබා කුළු­ඳුල් එක්දින අර්ධ ශත­කය වාර්තා කළේය.

ශ්‍රී ලංකා – කොදෙව් තෙවැනි හා අව­සන් එක්දින තර­ගය මේ 26 වැනිදා පස්වරු 2.30ට පල්ලෙ­කැලේ ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වීමට නිය­මි­තය.