හැමෝටම ‘මම ශ්‍රී ලාංකිකයෙක්’ යන හැඟීම තිබෙන රටක් ගොඩනඟන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ‘රට හදන අපි එකට මාලිමාවට’ මැයෙන් ත්‍රිකුණාමලය ජයග්රාහි ජනතා රැලිය ඊයේ (23) පෙරවරුවේ අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා:
“ශ්‍රී ලංකාවේ ප්රබලතම වෙනසක් සිදු කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා; ඉන් පසුව ඉතා කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැර, නව පාලනයක් ගොඩනඟාගැනීමේ අවස්ථාව ජනතාවට සලසා දුන්නා. ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේත්, ලෝකයේත් ඉතිහාසගත වන තුන්දෙනකුගේ ආණ්ඩුවක් අප පවත්වාගෙන යනවා. මහා මැතිවරණය අවසන් වන තුරු ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බිඳනොවැටී, ආර්ථිකය බිඳනොවැටී, රටේ ආරක්ෂාව බිඳනොවැටී පවත්වාගෙන යෑමේ වගකීම අප තුන්දෙනාට පැවරී තිබෙනවා. නොවැම්බර් 14 දිනට පසුව පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් අතුරින් විසිපස්දෙනකුට අඩු කැබිනට් මණ්ඩලයක් පිහිටුවාගන්නවා. රාජ්‍ය අමාත්‍ය ධුර නැහැ.
“පාර්ලිමේන්තුව සුද්ද කර අලුත් කිරීමට පෙළගැසෙන අතරේ හිටපු හැටදෙදෙනකුම ස්වේච්ඡාවෙන්ම ඉවත් වී ගිහින් තිබෙනවා. මාලිමාවේ අවංක, අදූෂිත වාගේම ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න. ඒ වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් හොඳම දායකත්වයක් දෙන්න.
“අනෙකුත් පක්ෂ ඡන්ද ව්‍යාපාරය පටන්ගන්න කොටම පරාජය පිළිගෙන ඉවරයි. අපේ රටේ තිබෙන ප්‍රධාන අභියෝග කිහිපයක් ජය ගන්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ශක්තිමත් ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර දීර්ඝ කාලයක් සැකය, වෛරය, ක්‍රෝධය, අවිශ්වාසය පතුරුවා තිබුණා. ඒ තුළ දෙමළ ජනතාව දෙමළ පක්ෂවලටත්, මුස්ලිම් ජනතාව මුස්ලිම් පක්ෂවලටත් තල්ලු කරනු ලැබුවා. ඊට පස්සේ ඒ පක්ෂවල කරට අත දාගෙන ආණ්ඩු බලය තහවුරු කරගැනීමේ දේශපාලනයක් ඔවුන් ගෙනගියා. ත්‍රිකුණාමලය නගරය සහ දිස්ත්‍රික්කය සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමඟියෙන් ජීවත් වන තත්ත්වය වෙනුවට ජනතාව බෙදලා ගැටුම් ඇති කරමින්, ඔවුන්ගේ පාලනය ගෙන ගියා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සමඟියේ පක්ෂය තමයි, ජාතික ජන බලවේගය. පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ සහ මුස්ලිම් ජනතාව අප ජයග්‍රහණය කරාවි යැයි විශ්වාස කළේ නැහැ. ඒ නිසා මහ මැතිවරණයට පිවිසෙන්නේ අප ජයග්‍රහණය කර තිබෙන පසුබිමක සියලු ජනතාව සමගියේ එක කුඩයක් යටතට ඇවිත්, සෙවණ ලබාගැනීමටයි. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව විශ්වාස කරන, සියලු ජනතාවගේ ආශීර්වාදය තිබෙන ආණ්ඩුව පිහිටුවිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.”
ජාතික ජන බලවේගයේ නායකයන් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් මේ රැලියට සහභාගි වූහ.