නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි20 ක්රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට එක්වන දෙවැනි කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවති තීරණාත්මක තරගයෙන් බංග්ලාදේශ ‘ඒ’ පිල පරදවා ලකුණු 19ක ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
ඕමානයේ අල් ඇමරට් ක්රීඩාංගණයේදී පෙරේදා රාත්රියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 161ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ ‘ඒ’ පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 142ක් පමණි.
මේ ජය සමඟ ‘ඒ’ කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් පළමු අවසන් පූර්ව තරගයට එක්වීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකි වූ අතර, එම කාණ්ඩයේ දෙවැනි තැනට පත්වූ ඇෆ්ගනිස්තානය දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.
අබු හයිදර් පන්දු 25කදී නොදැවී ලකුණු 38ක් රැස් කරමින් බංග්ලාදේශය ජයග්රහණය කරා ගෙන යෑමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. ආරම්භක පිතිකරු සයිෆ් හසන් ලකුණු 29ක් රැස් කර සිටියදී ආබාධයකට ලක්වූ අතර, පර්වේස් හොසේන් ලකුණු 24ක් රැස් කළේය. පන්දු යැවීමේදී ලකුණු 23කට කඩුලු 3ක් බිඳ දැමූ දුෂාන් හේමන්ත තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
ශ්රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්රීඩා කළ පවන් රත්නායක පන්දු 26කින් ලකුණු 42ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ළහිරු උදාර පන්දු 21කින් ලකණු 35ක් සහ සහන් ආරච්චිගේ ලකුණු 30ක් ඉනිමට එක් කළහ.
ශ්රී ලංකා ‘ඒ’ – 161/7 (ඕවර 20) පවන් රත්නායක 42, ළහිරු උදාර 35, සහන් ආරච්චිගේ 30, යශෝධ ලංකා 23 (රහ්මාන් රාජා 35/2, රිපොන් මොන්ඩෙල් 36/2)
බංග්ලාදේශ ‘ඒ’ – 142/7 (ඕවර 20) අබු හයිදර් නොදැවී 38, සයිෆ් හසන් 29, පර්වේස් හොසේන් 24 (දුෂාන් හේමන්ත 23/3)