ලොව බලවත් රටවල් පහේ ‘බ්‍රික්ස්’ සමුළුව පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේදී ඇරඹේ

ලොව බලවත්ම රටවල් 5ක් එක්ව පිහිටුවා ගත් ‘බ්‍රික්ස්’ ජාත්‍යන්තර සමුළුව ඊයේ රුසියාවේ කසාන් ප්‍රාන්තයේදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව ඇතුළත් බ්‍රික්ස් සංවිධාන සමුළුව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් දෙදිනක් පුරා පැවැත්වෙන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. චීන ජනාධිපති සහ ඉන්දීය අගමැති ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන් ද සමුළුවට එක්වී සිටින අතර, සිය නිවෙසේදී බිම ඇද වැටී හදිසි අනතුරකට ලක්වූ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පමණක් බවත් ඊට සහභාගි නොවන බව වාර්තා වේ. මෙවර බ්‍රික්ස් සමුළුව පැවැත්වෙන්නේ ජාත්‍යන්තර භූ දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවකදී බවත්, යුක්රේන හා මැදපෙරදිග යුද ගැටුම්වලට අමතරව, අමෙරිකාවේ ජනාධිපතිවරණය හා දේශගුණික විපර්යාස මෙවර බ්‍රික්ස් සමුළුව උණුසුම් කරනු ඇතැයි දේශපාලන විචාරකයන් අනාවැකි පළ කර තිබු බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මෑතකදී ආජන්ටිනාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, සවුදි අරාබිය හා ඉරානය වැනි රටවල එක්වීම නිසා මේ වනවිට බ්‍රික්ස් සංවිධානය ලොව භූමි ප්‍රමාණයෙන් 28.3%ක් සහ ගෝලීය ජනගහනයෙන් 44.6%ක් ආවරණය කරන අතර, බ්‍රික්ස් සමූහයේ දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 29.06ක් වන බවත්, එය ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙන් 27.4%ක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බලශක්තිය, තාක්ෂණය හා යටිතල පහසුකම් සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල වර්ධනය වන ආර්ථික සහයෝගිතාව තුළින් මෙවර සමුළුවේ වැඩි ප්‍රතිලාභ ඉන්දියාවට ලැබෙනු ඇතැයි ද, ඩොලර් බිලියන 15ක පමණ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලැබූ ඉන්දියාව බ්‍රික්ස් සමූහය බිහි කළ නව සංවර්ධන බැංකුවේ ප්‍රධානතම ප්‍රතිලාභියා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.