නාරා ආයතනයේ නව සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි

මහාචාර්ය සනත් හෙට්ටිආරච්ව් මහතා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (නාරා ආයතනය) නව සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.

මහාචාර්ය සනත් හෙට්ටිආරච්ව් මහතා සිය ධුරයේ රාජකාරි කටයුතු ඇරඹීම පසුගිය 21දා එම ආයතනයේදී සිදු කෙරිණි.

ධීවර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව පර්යේෂණ සිදු කර ඇති ඒ මහතා පර්යේෂණ ග්‍රන්ථ සහ නිබන්ධන රාශියක් එළිදක්වා ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිධරයකු මෙන්ම බෙල්ජියමේ බ්‍රසල්ස්හි Vrije විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිධරයකු ද වන ඒ මහතා මෙරට ජාතික විශ්වවිද්‍යාල ගණනාවක විවිධ තනතුරු දරා ඇත. මහාචාර්ය සනත් හෙට්ටිආරච්ව් මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස සහ රජරට විශ්වවිද්‍යාලයේ ජෛවීය විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති ලෙස ද සේවය කර තිබේ.

සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ නව සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා ධීවර ක්ෂේත්‍රයේ උන්නතියට පර්යේෂණ කටයුතු ඉතා වැදගත් වන බවත්, ඒ සඳහා නාරා ආයතනය මෙහෙයවමින් උපරිම දායකත්වය දීමට කටයුතු කරන බවත් පැවසීය.

මේ අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මික රණතුංග, ධීවර කටයුතු පිළිබද ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කෝලිත ජිනදාස, නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අරුලානන්දන් මහත්වරුන් ඇතුළු ආයතනයේ උසස් නිලධාරීහු සහභාගි වූහ.