උතුම් අරමුණු සොයා ගිය මිනිසුන්ට උත්තමාචාර

කැලණි විශ්වවිද්‍යාලයේ 84/85 අධ්‍යයන වර්ෂයේ “කැළණි සරසවි මිතු කැල” (84- 85 කණ්ඩායම) සංවිධානය කළ දානමය පිංකමක් කැළණි විද්‍යලංකාර මහ පිරිවෙන් පරිශ්‍රය තුළ ඔක්තෝබර් 20 වැනි දා පැවැත්විණ. එහිදී මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළවුන් සදාකල් ජීවත්වන්නේය යන කියමන සිහිපත් කරන ලදි. 80 දශකයේ මියැදුණු, අතුරුදන් වූ සහ ස්වභාවික හේතු මත මරණයට පත් වූ කැලණි විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින් ස්මරණය කිරීම මෙම පුණ්‍යකර්මයේ මූලික අරමුණ විය. එමඟින් විද්‍යාලංකාර පින්බිමෙහි ඓතිහාසික උරුමය සිහිපත් කිරීම ද විශේෂත්වයකි.

පුණ්‍යකර්මය සඳහා ගෞරවයෙන් සහසම්බන්ධ වී සිටියේ සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන්වහන්සේ වන මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන්ය. කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය හිමිපාණන් වහන්සේ විද්‍යාලංකාර සම්ප්‍රදාය පිළිබඳත් එහි දේශජ ගුණය පිළිබඳත් මෙහිදී සිහිපත් කර සිටියහ. විද්‍යාලංකාර සම්ප්‍රදායේ ආරම්භය විද්‍යාලංකාර පිරිවෙන ආශ්‍රිතව නිර්මාණය වූ බවත් එහි හැදූ මව කැළණි විශ්වවිද්‍යාලය බවත් උන්වහන්සේ වදාළහ. රටේ වත්මන් ජනාධිපතිවරයා කැළණි විශ්වවිද්‍යාලයෙන් බිහි ව පැවැත්ම කැලණි විශ්වවිද්‍යාලයට අභිමානයක් බව උන්වහන්සේ වැඩිදුරටත් විවරණය කර වදාළහ. මෙම පින්කම සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩමවීමෙන් දානය අර්ථවත් කළ බව මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළ යුතුය.

80 දශකය තුළ මියැදුණු සහ අතුරුදන් වූ ඇතැම් විද්‍යාර්ථයින්ගේ මළගමට අපට සහභාගි වීමට නොහැකි වූ අතර ඔවුන් කවරකුද, කවර ආකාරයෙන් ඔවුන්ගේ මරණය කෙසේ සිදුවූවේදැයි තවමත් අප දන්නේ නැත. ගඟක පාවූවේද, ටයර් සෑයක අළු වූවේද, ධර්මචක්‍රයේ ගසා මරා දැමුවේදැයි අප දන්නේ නැත. එහෙත් ඔවුන් මිය ගියේ යම් සමාජ අරමුණකට නම් බව අපි දනිමු. භික්ෂූන් වහන්සේලා, සොයුරු සොයුරියන් අතුරුදන්ව මරණයට පත් වූ බව නම් සැබෑ බව දනිමු. එහෙයින් ඔවුන් වෙනුවෙන් ආගමික වතාවත් සිදු වූයේ ද නැත. අප ඊට සහභාගි වූයේ ද නැත. එසේ කිරීමට සමාජ වටපිටාවක් තිබුණේ ද නැත. එහෙයින් එම ඌණතාව පරිපූර්ණත්වයට පත් කිරීම උදෙසා ඔක්තෝබර් 20 ඉරිදා විද්‍යලංකාර මහ පිරිවෙනේ අෂ්ඨ පරිශ්කාර සහිත දානමය පුණ්‍යකර්මයක් 84 – 85 අධ්‍යයන වර්ෂයේ විද්‍යාර්ථයින් විසින් සූදානම් කරන ලදි. ඒ මියගියවුන්ගේ ජීවිතයේ වටිනාකම සමාජගත කිරීම සඳහාත් එය සමාජයට සිහිපත් කිරීම උදෙසාත්ය. එය සමාජ වගකීමක් බව අපි විශ්වාස කරමු.