59 වන ආසියානු ශාන්තිකර කලාපීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සමුළුව සාර්ථකව අවසන්

ගුවන් සේවා කර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කරන 59 වන ආසියානු ශාන්තිකර කලාපීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සමුළුව පිලිපීනයේ, සිබූහි දී සාර්ථකව අවසන් වී තිබේ. ආසියානු ශාන්තිකර කලාපයේ සිවිල් ගුවන්සේවා කර්මාන්තයේ සුරක්ෂිතතාව, ආරක්ෂාව, ගුවන් ප්‍රවාහනය, කර්මාන්තයේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් පහසුකම් සැපයීම ඇතුළු අංශ ගණනාවක් පිළිබඳව වැදගත් තීන්දු හා තීරණ රැසක් ගැනීමේ අපේක්ෂාවෙන් 59 වන ආසියානු ශාන්තිකර කලාපීය සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සමුළුව පිලිපීනයේ සිබූහි දී පසුගිය දා සාර්ථකව අවසන් විය.

දින පහක් පුරා පැවැති මේ සමුළුවට ආසියානු ශාන්තිකර කලාපයට අයත් රටවල් 37ක හා පිළිගත් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධාන 11කට අයත් නියෝජිතයන් 310ක් පමණ සහභාගිව සිටි අතර ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සභාපති, මහ ලේකම් මෙන්ම කලාපීය අධ්‍යක්ෂ ඇතුළු ඉහළපෙළේ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූ බව සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව පවසයි.

කලාපීය වශයෙන් සිවිල් ගුවන්සේවා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කරුණු සාකච්ඡා කරනු ලබන ඉහළපෙළේ මේ ගුවන්සේවා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා සහභාගී වූ අතර එම සමුළුවේ විශේෂිත අවස්ථාවක් ලෙස ක්‍රියාත්මක වූ “ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ගුවන් ප්‍රවාහනය” මැයෙන් පැවැති විද්වත් කථිකාවත මෙහෙයවීමේ භාරධුර වගකීම අධ්‍යක්ෂ ජනරාල්වරයාට හිමිවිය.

මේ සමුළුව අතරතුර අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා කලාපීය රටවල ගුවන්සේවා නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට ද කටයුතු කළ අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම, ගුවන්සේවා පුහුණු අවස්ථා මෙන්ම ගුවන් ගමන් වර්ධනය කරගත හැකි ආකාරය වැනි කරුණු එහි දී සාකච්ඡාවට බඳුන් විය.

ශ්‍රී ලංකාව විසින් 2016 වසරේ දී කොළඹ දී පැවති 53 වන ආසියානු ශාන්තිකර කලාපීය සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ සමුළුවට සත්කාරකත්වය දක්වා තිබේ.