දේශීය හා විදේශීය පක්ෂීන්ට රජදහනක් වූ ආනවිලුන්දාව අනතුරේ

ආනවිලුන්දාව දේශීය හා විදේශීය පක්ෂීන්ගේ රජදහනකි. එහි පහස විඳීමට සැතපුම් දහස් ගණනක් පියාසර කරමින් විදෙස් පක්ෂින් පැමිණීම සිදුවන්නේ දශක ගණනාවක සිටය.

එක් පසකින් මහ සයුරත් තවත් ප‍ෙසකින් කළපු පද්ධතියත් තවත් ප‍ෙසකින් දැවැන්ත කඩොලාන පරිසර පද්ධතියත් තවත් ප‍ෙසකින් ඕලන්ද ඇළත් සමඟ එක්ව වැව් හතකින් පෝෂිත ආනවිලුන්දාව ජෛව විවිධත්වය කියාපාන පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඇති විශේෂිත පරිසර පද්ධතියකි.

මෙවැනි සුවිශේෂ හා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරුවෙමින් ඇත්තේ මෙම පරිසර පද්ධතිය පුරා පක්ෂින්ට වාසස්ථානයක් සැලසූ වෘක්ෂයන් සියල්ලම මැරී යෑමට පටන් ගැනීමත් සමඟය. ඒ සමඟම මෙම භුමියේ වැව් පද්ධතිය පුරාම ජලජ ශාකවලින් පිරී තිබීමත් සමඟ එයට අදාළ බලධාරීන් නිසි අවධානමක් දක්වා නොමැති බව පරිසරවේදීන් පවසති.

ආනවිලුන්දාව 2001 වසරේ අගෝස්තු 1 වැනි දින රැම්සා තෙත් බිමක් බවට පත්කිරීමට ඒ පිළිබඳව දැඩි පරිශ්‍රමයෙන් ඒ පිළිබඳව අධ්‍යනය කළ සුවිශේෂ කණ්ඩායමක් මහත් වෙහෙසක් ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම රැම්සා තෙත් බිම ලෙස ආනවිලුන්දාව වේ. ඒ නිසාම එහි සුවිශේෂත්වය නිසි සැලකිල්ලට ගනිමින් රැම්සා තෙත් බිමක් බවට පත් කිරීමට කටයුතු කර තිබුණි.

එහි ප්‍රතිපලයක් ලෙස රැම්සා තෙත් බිමක් බවට පත් කළ මෙම සුවිශේෂ භූමිය අන්තර් ජාතික රැම්සා සම්මුතියට යටත්ව රැම්සා තෙත් බිමක් ලෙස 2001 වසරේම අගෝස්තු 3 වැනි දින ප්‍රකාශයට පත් කිරීම සිදුව ඇත්තේ මෙම සුවිශේෂ භූමියේ වටිනාකම තවත් වැඩ කරමිනි.

හෙක්ටයාර් 1397ක වපසරියකින් යුත් ආනවිලුන්දාව කුරුළු පාරාදීසයක්ව ඇත්තේ මෙම එහි පරිසර පද්ධතියට මහත් ආඩම්බරයක් ලබා දෙමිනි. මෙම භූමියේ දේශීය පක්ෂි විශේෂ 131ක්, පර්යටන පක්ෂීන් 37ක වාස භූමියක්ව තිබේ.

ඒ සමඟම මෙම භූමියේ ශාක විශේෂ 264ක් හඳුනාගෙන ඇති අතර එයින් 110ක් ගස් වර්ගද තවත් 54ක් පඳුරු විශේෂ ලෙස ද හඳුනාගැනීමට පර්යේෂකයන් සමත්ව තිබේ.

ඒ සමඟම මෙම භූමියේ කඩොලාන වර්ග 13ක් ද සමනලුන් විශේෂ 74ක්, මත්ස්‍ය විශේෂ 47ක්, උරග විශේෂ 34, උභය ජීවි විශේෂ 11, ක්ෂීරපායි විශේෂ 20ක් ලෙස ද මෙම භූමියේ රැඳී සිටින බව හඳුනාගෙන තිබේ.

නමුත් මේ සියල්ල හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි මෙම සුවිශේෂ භූමිය දැනට වසර කිහිපයක සිට ක්‍රමයෙන් එහි පැවති අලංකාරත්වයට බරපතළ තර්ජනයක් වෙමින් පෙර සඳහන් කළ ලෙස දැවැන්ත වෘක්ෂයන් මැරී යමින් තිබීම පරිසර පද්ධතියටම මරු පහරක් එල්ල කර තිබේ.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වන පරිසරවේදීන් පවසන්නේ ආනවිලුන්දාවේ පරිසර පද්ධතියට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුව ඇත්තේ වසර කිහිපයක සිට බවයි.

එය ඔවුන් විග්‍රහ කරන ආකාරයට දැදුරුඔය හරස් කරමින් සෙන්ගල්ඔය හරහා ජලය මෙම ආනවිලුන්දාව වැව් පද්ධතියට රැගෙන ඒමට කටයුතු කිරීමත් සමඟ ආනවිලුන්දාව වසර පුරාම ජලයෙන් පිරී යෑමත් සමඟ දැවැන්ත වෘක්ෂයන්වල මූල පද්ධති නිරන්තරයෙන් ජලයෙන් යටව තිබීමත් සමඟ මෙලෙස ක්‍රමයෙන් වෘක්ෂයන් මැරී යෑම සිදුව ඇති බවයි.

අතීතයේ ආනවිලුන්දාවේ වැව් පද්ධතිය වසරේ ජූලි සිට ඔක්තෝබර් අවසානය දක්වා මාස කිහිපයක් ජලය සිඳී යෑමෙන් දැවැන්ත වෘක්ෂයන්වලට යම් කාලයක් තම මූල පද්ධති ජලය අඩුවීමත් සමඟ එහි පැවැත්මට නිසි දායකත්වයක් ලබා දුන් බව පරිසරවේදීන් පවසයි.

නමුත් දිගින් දිගටම ජලයෙන් මෙම වෘක්ෂයන් වැසී තිබීමත් සමඟ එහි පැවැත්මට බරපතළ තත්වයක් මතුව ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙති.

මේ පිළිබඳව අදහස් දැක්වූ වයඹ හඬ පරිසර සංවිධානයේ කැඳවුම්කරු අජිත් ගිහාන් මහතා මෙසේ පවසන්නට විය.

“ ආනවිලුන්දාව ශ්‍රී ලංකාවේ විශේෂ පරිසර පද්ධතියක් ඒ නිසාම මේ පද්ධතිය ආරක්ෂා කරන්න විශේෂ වැඩපිළිවෙළක් වනජීවී දෙපාර්තුමේන්තුව හා තවත් ආයතන රැසක් ඒ සඳහා එක්වී තිබෙනවා.

ඒ එක්කම මේ පද්ධතියේ අලංකාරත්වයට තිබුණ දැවැන්ත වෘක්ෂයන් මෙසේ විටින් විට මැරීයෑමට පටන් ගැනීම ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.

එතනදි වැව් පද්ධතියට දැදුරු ඔය හරස් කර සෙන්ගල් ඔය හරහා ජලය රැගෙන ඒම සිදු කිරීමත් සමඟ ගස් මැරීයෑම සිදුවන බවට තමා තොරතුරු තිබෙන්නේ. නමුත් එයද කියලා කියන්න තාමත් කිසිම කෙනෙක් සහතිකයක් ලබා දීලා නැහැ.

ඇත්තටම වැව් පද්ධතියේ විශාල ගස් තොගයක් මෙලෙස මැරී යෑම සිදුවීම එහි අලංකාරත්වයට විශාල ගැටලුවක් වෙලා. ඒ නිසා ඇත්තටම සිදුව ඇති හානිය මොකක්ද කියලා සොයා බැලිය යුතු බවයි අපේ අදහස.

ඒ එක්කම ආනවිලුන්දාව වැව් පද්ධතියට ජලය ගෙන එන්න හේතු වුණේ කුඹුරුවලට යල මහ කන්න දෙකටම වී ගොවිතැන් කිරීම සඳහා නමුත් එය වැව් පද්ධතියේ තිබෙන ගස්වලට හානියක් සිදු වුණාද කියා සොයා බලා ගොවීන්ටත් මේ පරිසරයටත් ගැළපෙන ආකාරයට නිසි සැලසුමක් සකස් කිරීමට අදාළ වගකිව යුතු අංශ සමඟ අපි ඉදිරියෙදී සාකච්ජා කිරීම කරමින් මේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගන්න අපි කටයුතු කරනවා යැයි පවසන්නට විය.

මේ සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතාගෙන් කළ විමසීමේදී පවසා සිටියේ මෙවැනි අදහසකි.

මේ පිළිබඳව අපි මේ වන විට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පසුගිය කාලය පුරාම විශාල වශයෙන් මෙම පරිසර පද්ධතියෙ ගස් මැරී යෑම සිදු වුණා.

නමුත් දැන් යම් අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා. කෙසේ නමුත් මෙම තත්ත්වයට හේතු සොයා බලන්න අපි විශේෂ කණ්ඩායමකින් සැදුම්ලත් පිරිසක් සමඟ ඉදිරියේදී කටයුතු කරන්න සුදානම්ව සිටිනවා.