ජොන්ස්ටන් අද CID එයි

මෙරටදී එකලස් කරන ලද බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ නවතා තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (23) සමූහ මංකොල්ල විමර්ශනය අංශය හමුවේ පෙනී සිටින බවට හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ඊයේ (22) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල පල්ලියගේ මහතා විසින් මෙම ප්‍රතිඥාව ලබාදෙන ලදි.

ලෆාර් තාහිර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

එහිදී පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ නවතා තිබියදී බී.එම්.ඩබ්ලිව්. රථයක් සොයා ගැනීමට අදාළව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පෙත්සම්කරුට කැඳවීමක් කර තිබූ බවය.

එම ප්‍රකාශය ලබාදීම සඳහා කල් ලබාදෙන ලෙස ලිපියක් මඟින් ඉල්ලීමක් කළ බව නීතිඥවරයා සඳහන් කළේය.

අදාළ වාහනය මෙරටදී එකලස් කරන ලද වාහනයක් බවත් එහි අංක තහඩු ඇතුළුව එම වාහනය සම්බන්ධයෙන් මෝටර් රථ වාහන පනත යටතේ කොළඹ කොටුව මහාධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කරමින් බී වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් නීතිඥවරයා සඳහන් කළේය. පළමු බී වාර්තාවෙන් පෙත්සම්කරු සැකකරුවකු ලෙස නම් කර නොසිටිය ද පසුව ඉදිරිපත් කරන ලද බී වාර්තාවට අනුව සැකකරුවකු ලෙස නම් කර ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බව ද නීතිඥවරයා සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති අතර අදාළ වාහනයේ හිමිකාරීත්වය පිළිබඳ සංකීර්ණ කරුණු අනාවරණය වූ බව ද නීතිඥවරයා කියා සිටියේය.

එකිනෙකට පරස්පර කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයා සැකකරුවකු වශයෙන් නම් කිරීම නීතියට පටහැණි බව නීතිඥවරයා සඳහන් කළේය. මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ පෙත්සම්කරු විසින් මෙම වාහනය භාවිත කර තිබේද යන්නය.

එහිදී නීතිඥවරයා සඳහන් කළේ තම සේවා දායකයා පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ මෙම වාහනය භාවිත කර ඇති බවය. ‘ගරාජ් අංක තහඩුවක්’ සහිත වාහනයක් භාවිත කරන්නේ කෙසේදැයි මෙහිදී විනිසුරු මඬුල්ල ප්‍රශ්න කර සිටියේය. කෙසේ වුවද මෙම වාහනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට සහාය වීමට මෙන්ම ප්‍රකාශයක් ලබාදීමට පෙත්සම්කරු කැමති බව දන්වා සිටි නීතිඥවරයා සඳහන් කළේ එවැනි ප්‍රකාශයක් ලබාදීමට ගිය අවස්ථාවකදී ඔහු අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති බවය.

එය වැළැක්වීම සඳහා මෙම පෙත්සම ගොනු කළ බව නීතිඥවරයා සඳහන් කළේය. එහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ පෙත්සම්කරු විසින් මෙම ප්‍රකාශය ලබා නොදීම හේතුවෙන් අදාළ විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යෑමට බාධාවක් ඇතිවී බවය. පෙත්සම්කරු ප්‍රකාශයක් නොදීම නිසා ඔහු සැකකරුවකු ලෙස නම් කර ඇති බවත් යම් හෙයකින් ඔහු අත්අඩංගුවට පත්වුවහොත් එවැනි අවස්ථාවලදී අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීමට අදාළ නීතිමය ප්‍රතිපාදන ඇති බවත් විනිසුරු මඬුල්ල එහිදී පෙන්වා දුන්නේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හිරන්ජන් පීරිස් මහතා සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යෑමට කිසිදු නීතිමය පදනමක් නැති බවය. පෙත්සම්කරු මේ දක්වා පොලිසියට ප්‍රකාශයක් ලබා දී නැති බව ඒ මහතා සඳහන් කළේය.පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ චේතනාවක් වගඋත්තරකරුවන් සතුව නැති නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

එහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ පෙත්සම්කරු විසින් අදාළ ප්‍රකාශය මෙතෙක් ලබාදීමක් සිදු කර නැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමක් ද සිදුව නැති බවය.

ඒ අනුව සිදු නොවූ යමක් සම්බන්ධයෙන් අධිකරණයට මේ අවස්ථාවේදී නියෝග ලබාදිය නොහැකි බව ද විනිසුරු මඬුල්ල එහිදී සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම්කරු විසින් අදාළ ප්‍රකාශය ලබාදිය යුතු බව විනිසුරු මඬුල්ල එහිදී ඔහුගේ නීතිඥවරයාට පෙන්වා දුන්නේය. එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව සිදුවන තත්ත්වය සලකා බලා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරන්නේ ද යන්න පිළිබඳ සලකා බැලීම සිදුකළ හැකි බව ද එහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ ප්‍රකාශය අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ලබාදෙන බවට නීතිඥවරයා එහිදී පොරොන්දුවක් ලබා දුන්නේය.

පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සිදු කරන්නේ ද යන්න පිළිබඳ සලකා බැලීම සඳහා එය මෙම 25 වැනිදා කැඳවීමට නියම කෙරිණ.