කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලිය කල් ඇතිව ජය ගැනීම ශ්‍රී ලංකා සැලසුමයි-වලාකුළු හඬා වැටුණොත් අද තරගයේ උණුසුමට බාධා

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් ලබා සිටින හෙයින් අද තරගය ජයගෙන කල් ඇතිව තරගාවලියේ ජය 2-0ක් ලෙස වාර්තා කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එකම අදිටන වී තිබේ. ශ්‍රී ලංකා පිලේ එම සතුටට ඉඩ නොදී තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම කොදෙව් ක්‍රීඩකයන්ගේ අපේක්ෂාව වේ. කෙසේ වුවද අද දිනයේ පල්ලෙකැලේ අවට පවතින කාලගුණ අනාවැකි අනුව වර්ෂාව පතිතවී තරගයේ උණුසුම අඩාළ නොවනු ඇතැයි ප්‍රේක්ෂක බලාපොරොත්තුව වේ.

නිමාවට පත්වූ විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන ඇති හෙයින් එම වේගය මේ එක්දින තරගාවලියේදී ද පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලු උත්සාහයන් දරති. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් 2 වැනි එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.30ට ආරම්භවීමට කටයුතු යොදා ඇති අතර, කාලගුණ අනාවැකිය ද පෙර තරගය පැවති දිනයට බොහෝ සෙයින් සමානකමක් දක්වා ඇත. පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවද එය ශ්‍රී ලංකාවට වාසිදායක අවසානයක් විය. එම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණි.

කලගුණ අනාවැකිවලට අනුව, පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට එතරම් සැනසිලිදායක බවක් නොපෙනේ. දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ත් 33ත් අතර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් වැස්සත් සමඟ ක්‍රීඩාවට කරදරයක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, වර්ෂාපතනය 75%ක සම්භාවිතාවක් පෙන්වා දේ. තරගය ආරම්භ කිරීමට නියමිත සවස් කාලයේදී වැසි ස්වල්පයක් ඇති වීමට ප්‍රබල ඉඩක් කාලගුණ අනාවැකියේ සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි පිළිබඳ 18% පුරෝකථනයක් ඇති අතර, කාලගුණ වාර්තාවට අනුව, 96%ක වලාකුළු ආවරණයක් ක්‍රීඩාංගණය අවට අහසේ පැවැතීම ගැටලුකාරී තත්ත්වයක් බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

ශ්‍රී ලංකා – කොදෙව් පළමු එක්දින තරගය වර්ෂාවෙන් බලපෑමට ලක් වූ අතර, පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් පිල ලකුණු 185ක් රැස් කළේය. වර්ෂාවෙන් ඕවර කිහිපයක් අපතේ ගිය තරග‌යේදී ශ්‍රී ලංකාවට ලකුණු 232ක ඉලක්කයක් එල්ලවී එය කඩුලු 5ක් බිඳ වැටී සම්පූර්ණ කළේය.

වනිඳු හසරංග කඩුලු 2ක් දවාගෙන ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම ශක්තිමත් කළ අතර, දඟ පන්දුවට තණතිල්ලේ වැඩි සහයෝගයක් ඇති තත්ත්වයක් පෙනෙන්නට තිබිණි. මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක සහ නායක චරිත් අසලංක ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් අර්ධ ශතක රැස්කොට ශ්‍රී ලංකාව තීරණාත්මක ජයග්‍රහණයක් කරා රැගෙන ගියහ.

ශ්‍රී ලංකාව එම ප්‍රවේගය දෙවැනි එක්දින තරගයේදී යොදා ගතහොත් තරගාවලිය ජය ගැනීමට හැකියාව වේලාසනින්ම උදාවේ. බටහිර ඉන්දීය කොදෙව්වන් බලාපොරොත්තු වන්නේ පළමු තරගයට වඩා හොඳින් ක්‍රීඩා කිරීමටය. බටහිර ඉන්දීය කොදෙව් පිල දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට ක්‍රමයක් සොයා ගැනීමට සමත් නොවුණහොත් ඔවුන්ට අද දිනයේ තවත් පරාජයක් අත්වනු ඇත. දුනිත් වෙල්ලාලගේ කඩුලු ලබා නොගත්තද ඕවර 7කදී ලබා දුන්නේ ලකුණු 20ක් පමණි. හසරංග ද ඕවරයකට ලකුණු වේගය 3ක් ලෙස පන්දු යැවීම කොදෙව්වන්ට හිසරදයක් විය. විශේෂයෙන්ම දඟපන්දු යවන්නන්ට පල්ලෙකැලේ තණතිල්ලේ හොඳ සහායක් ලබා ගත හැකිය.

ශ්‍රී ලංකා දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ වනිඳු හා වැන්ඩර්සේ යන දඟ පන්දු යවන්නන් දෙදෙනාම අද තරගයට ක්‍රීඩා කරන බවයි. “වනිඳු හා වැන්ඩර්සේ දෙආකාරයකට පන්දු යවන නිසා ඒ දෙන්නම අපට වැදගත්. අපි විස්සයි20 ඉදලාම දඟ පන්දු යවන්නන් තිදෙනකු යොදා ගත්තා. කොදෙව් ක්‍රීඩකයන් දඟ පන්දුවට එතරම් හොඳට ක්‍රීඩා කරන්නේ නෑ. දුනිත් වෙල්ලාලගේ කාලයකින් ලැබුණු හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. දඟ පන්දු යවන්නෙක් අවුරුදු 27ත් 28ක් වෙද්දී තමයි උපරිමයට එන්නේ. දුනිත්ට තවමත් වයස 21ක් විතරයි. ඔහුට හොඳ අනාගතයක් තියෙනවා. පිතිකරුවන් අතරට පැතුම් එනවද නැද්ද යන්න අද තීරණය කරනවා. ඔහු පුහුණු වෙමින් සිටිනවා” පියල් විජේතුංග මහතා පැවසීය.

අවසන්වරට බටහිර ඉන්දීය කොදෙව්හි 2021දී පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස කොදෙව් පිල ජයගත් අතර, අනතුරුව දෙරට අතර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී හමුවී ශ්‍රී ලංකාව එම තරගයෙන් ජය වාර්තා කළේය. 2020 වසරේදී කිරාන් පොලාඩ්ගේ නායකත්වයෙන් කොදෙව් පිල ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී තරග 3-0ක් ලෙස දිමුත් කරුණාරත්න පෙරටුකොටගත් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය වාර්තා කළේය.

කෙසේ වුවද දෙරට අතර එක්දින තරගාවලියකදී වසර 3කට පසු හමුවන මේ පළමු අවස්ථාවේදී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය වෙනුවෙන් සියලු සැලසුම් සකසා ඇති බව පෙනේ.