ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ පිට පිට හතරවැනි ජයත් ලබති-ජපානයට ලකුණු 85-18ක ප්‍රහාරයක්

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ පිට පිට හතරවැනි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ ජපානය ලකුණු 85-18ක් ලෙස පරාජයට පත් කළහ. ඉන්දියාවේ බැංගලෝර්හි කොරමන්ගලා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ ශූරතාවලියේ ජපාන කණ්ඩායම මුල සිට පසු බැසීමකට ලක්වූ අතර, පළමු කාර්තුවේ ලකුණු තත්ත්වය 17- 6ක් විය. දෙවැනි කාර්තුවේදී ලකුණු තත්ත්වය 39-11ක් වූ අතර, තෙවැනි කාර්තුවේදී ලකුණු 62 – 12ක් ලෙස ශ්‍රී ලංකා පිල පෙරමුණට පිවිසියේය.

මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගිවූ ඉන්දියාවට එරෙහි තරගය ලකුණු 81-31ක් ලෙස ජයගත් අතර, සෞදි අරාබි පිලට එරෙහිව ලකුණු 115 – 5කින් හා පිලිපීනයට එරෙහිව ලකුණු 73 – 43කින් ජයග්‍රහණ වාර්තා කළේය. ශ්‍රී ලංකා නෙට්බෝල් පිල වසර 1989 සිට 6 වතාවක් ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් අතර, සිංගප්පූරුව අවස්ථා 3කදී හා මැලේසියාව අවස්ථා 2කදී ආසියානු ශූරියෝ වූහ.

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මැලේසියාව සමඟ අද රාත්‍රී 7ට පැවැත්වෙන අතර, මූලික වටයේ අවසන් තරගය 26 වැනිදා මාලදිවයින සමඟ පැවැත්වීමට නියමිතය.