මැතිවරණ ප්‍රචාර අතරතුර අවන්හලකදී ඩොනල්ඩ් ට්‍රම්ප් අල පෙති බදියි

එළැඹෙන ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් සිටින අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර එහි මැක්ඩොනල්ඩ්ස් අවන්හලට ගොඩ වැදී අල පෙති බදිමින් (ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්) විනෝද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු ජනාධිපතිවරයා මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ මුළුතැන්ගෙට ගොඩ වැදී අල පෙති බැදීමට පටන් ගෙන ඇත්තේ එහි කළමනාකරුවකු ඔහු වෙත පැමිණ එම ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ අවස්ථාවේදීය.

හිටපු ජනාධිපතිවරයා බදින ලද අලපෙති බහාලූ භාජනයක් ඔසවා සොලවමින් තව ලුණු ටිකක් එක් කරන්නදැයි කළමනාකරුගෙන් විමසූ අයුරු දැක්වෙන වීඩියෝපටය සමාජ මාධ්‍ය ජාලයේ ජනප්‍රියත්වයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ රැකියාවක් යනු සෑම අමෙරිකානුවන් අටදෙනකුගෙන් එක් අයකුට ලැබෙන අපූරු රැකියාවක් බවත්, මුල් කාලයේදී තමාට ද මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවක් තිබූ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.