පාස්කු දින ප්‍රහාරය වළක්වා නොගත්තාට-දඬුවම් කළයුතු නිලධාරි ලැයිස්තුවක් වාර්තාවේ තියෙනවා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් රවී සෙනෙවිරත්න මහතාට අපරාධ නීතිය යටතේ දඬුවම් දිය යුතු යැයි පාස්කු ඉරිදා විමර්ශන වාර්තාවේ දැක්වෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ද අදාළ රාජකාරී නිසි ලෙස ඉටු නොකිරීම මත අපරාධ නඩු පැවරිය යුතු බව වාර්තාවේ නිර්දේශ කර ඇති බව ද ඒ මහතා කීය.

පාස්කුදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශන වාර්තා එළිදැක්වීමට සිය පක්ෂ මූලස්ථානයේ ඊයේ (21) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

රජයේ නිලධාරින් දාහත් දෙනෙකුට අපරාධ නඩු ගොනු කිරීමටද මෙම වාර්තාවේ නිර්දේශ කර ඇතැයි ඒ මහතා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේ ද කිය.

2019 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ජනාධිපති කොමිසම පත් කළා. එහි වාර්තාව 2021 ජනවාරි මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට භාර දුන්නා.

පසුගිය දිනවල ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් රූපවාහිනියේ මත පළ කළා මම ප්‍රසිද්ධ කරන්නේ ඒ වාර්තාවේ කොටසක් කියල. එම වාර්තාව දෙදහස් විසි එකේදිම ප්‍රසිද්ධ කළා. එම වාර්තාවේ ඇතැම් කොටස් ජාතික ආරක්‍ෂාවට සංවේදී බව පවසමින් කොමිෂන් සභාව නිර්දේශ කළත් රදගුරු සභාවේ සභාපති ධුරය දැරූ හැරල්ඩ් ඇන්තනී පියතුමාට ආණ්ඩුවෙන් භාර දුන්නා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කරලා, මැතිවරණය කිට්ටුව වාර්තාව භාර දුන්න මෙතෙක් ප්‍රසිද්ධ නොකරපු, වත්මන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධ කිරීමට හිතාමතා පැකිළෙන කමිටු වාර්තා දෙක ගැනයි මම කතා කරන්නේ.

විශ්‍රාමික විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරපු වාර්තාව 2024 ජුනි මාසේ 25 වැනිදා රනිල් වික්‍රමසිංහට භාර දුන්නා.

මේ කමිටුවේ විෂය පථය වෙන්නේ චැනල් ෆෝ නාළිකාව එල්ල කරන ලද චෝදනා 25ක ඇත්ත නැත්ත විමර්ශනය කිරීමයි.

විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව 2024 සැප්තැම්බර් 14 වැනිදා වත්මන් ජනාධිපතිවරයා පත්වෙන්න සතියකට කලින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට භාර දුන්නා.

මේ දෙවන වාර්තාවේ විෂය පථය වෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියෙන් සහ බුද්ධි අංශ අතින් වැරැද්දක් වුණාද යන්න විමර්ශනය කිරීමයි. මේ වාර්තා සඟවා තබන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ දරන්නේ ඇයි කියලා මම කියන්න කැමතියි.

මේ වාර්තාවේ හතළිස් වන පිටුවේ සඳහන් ආකාරයට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂවරයා විසින් 2019 අප්‍රේල් 9 වෙනිදා මොහොමඩ් සහරාන් ඇතුළු තව්හීද් ජමාත් ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බවට විදේශීය බුද්ධි අංශය දැනුම් දුන් බව අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට ලිපියකින් දැනුම් දෙනවා.

රවී සෙ‍ෙනවිරත්න වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා.

මේ ලිපියේ ප්‍රහාරය එල්ල කරන ත්‍රස්තවාදීන්ගේ නම, ජාතික හැඳුනුම්පත් අංක, දුරකතන අංක, ලිපිනයන් සහ ගැවසෙන තැන්, ඇසුරු කරන අය, යන එන තැන්, යන එන වෙලාවන් සඳහන් කර තිබෙනවා. ඒ තරම්ම විස්තරාත්මකයි.

මේ ලිපිය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ රවී සෙ‍ෙනවිරත්නට බරපතළ චෝදනා එල්ල කරන නිසාම එතුමාගේ පැත්තෙන් තමන් අත්අඩංගුවට ගන්න එපා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. 241/2024 එම නඩුව මම හොඳින් අධ්‍යයනය කළා. අප්‍රේල් 9 වෙනිදා මේ ලිපිය එනකොට රවී සෙ‍ෙනවිරත්න හිටියේ විදේශගත වෙලා. ලිපිය දකින්නේ 16 වෙනිදා කියලා රවී සෙ‍ෙනවිරත්න කියනවා.

රජයේ නිලධාරීන් විදේශගත වීමකදී වැඩ ආවරණය කරන්න වෙනත් නිලධාරියෙක් පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් පත්කරල තියෙන්නෙ සී. අයි. ඩී. ය භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතා.

සතියක් මේ ලිපිය නාගහමුල්ල මහතාගේ අතට නොගොස් රවී සෙ‍ෙනවිරත්න මහතාගේ මේසේ උඩ තිබුණේ කොහොමද? මේ ගැන විමර්ශනය කරන්න නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කරනවා. රහස්‍යයි කියලා එන ලියුම් විවෘත කරන්න එපා. කාටවත් යවන්න එපා. මම කඩනකම් ඉන්න කියලා රවී සෙ‍ෙනවිරත්න උපදෙස් දුන්නා කියන එකයි ඒ අයගේ ප්‍රකාශවලින් කියවෙන්නේ.

රහස්‍යයි කියලා එන්නේ අතිශය සංවේදී ක්ෂණිකව පියවර ගත යුතු වාර්තා. මේ වගේ නියෝග අනුව කොහොමද වැඩ ආවරණය කරන නිලධාරීන් රාජකාරිය කරන්නේ.

රවී සෙනෙවිරත්නගේ නීති විරෝධී උපදෙස නිසා සහරාන් බෝම්බ හදනකොටත්, වීඩියෝ පටිගත කරන කොටත්, බෝම්බ ප්‍රවාහනය කරන කොටත්, ඒ පිළිබඳ සියලු විස්තර ඇතුළත් ලිපියක් රවී සෙනෙවිරත්නගේ මේසෙ උඩ “අනේ මාව බලාගනියෝ” කියමින් තිබිලා තියෙනවා. රවී සෙනෙවිරත්න මේ ලිපිය අප්‍රේල් 16 වෙනිදා බලලා මැයි මාසෙ පළවෙනිදට විමර්ශන ප්‍රගතිය වාර්තා කරන්න කියලා සටහනක් තබා තිබෙනවා. නමුත් සී. අයි. ඩී. ය භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාට යොමු කරන්න භාර දීලා තියෙන්නේ 19 වෙනිදා. අබිරහස් ලෙස අප්‍රේල් විසි එක බෝම්බය පුපුරුවා ගන්නාතුරුම මේ ලිපිය නාගහමුල්ල මහතාගේ අතට යන්නේ නැහැ. මේ ලිපිය යන්නේ බෝම්බය පුපුරවා ගැනීමෙන් පසු දිනයි. ඒ කියන්නේ අප්‍රේල් 22 වෙනිදා.

ඉතා ක්ෂණිකව පියවර ගත යුතු ලිපියක් දින දොළහක් පුරා රවී සෙ‍ෙනවිරත්න භාරයේ පවතිනවා. 19 වෙනිදා සිකුරාදා. 20 වෙනිදා සෙනසුරාදා. 21 වෙනිදා පාස්කු ඉරිදා බෝම්බය පුපුරවා ගත්තා.

බෝම්බය පුපුරවා ගැනීමෙන් අනතුරුව මේ ලිපිය මේසය උඩ තියෙනවා දැකලා 16 වෙනිදාට සටහනක් දාලා 19 වෙනිදා යැව්වද කියන සාධාරණ සැකය ඇති වෙනවා.

තමන්ගේ මේසේ උඩ අතිශය රහසිගත ලිපියක් තබාගෙන ඉන්නවා වෙනුවට මෙතුමාට තිබුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම කැඳවා අතිශය සංවේදී කාරණය පිළිබඳ දැඩි අවධානය යොමු කර වහාම පියවර ගන්න කියලා උපදෙස් දීලා ලියුම අතින් භාර දෙන්නයි. මේ ලියුම සතියක් මේසය උඩ තිබුණා මදිවට සොයා බලා වාර්තා කරන්න මැයි පළවෙනිදා වෙනකන් කල් දෙනවා.

රවී සෙ‍ෙනවිරත්න මහතා වහා ක්‍රියාත්මක වූයේ නම් අදාළ බෝම්බකරුවන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබූ බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කීය.