රටට දැන් අවශ්‍ය හැම අතින්ම බලවත් ආණ්ඩුවක්-ජනපති කටුනායකදී කියයි

මාර්තුවේ ගේන නව අයවැයෙන් අලුත් උපායමාර්ග රැසක්

අපි නොවැම්බර් මස 14 වැනිදා ලංකා ඉතිහාසය අලුතින් ලියමු

එහෙට මෙහෙට පනින්නේ නැති මිනිසුන්ගෙන් පිරුණු මැතිසබයක්

ඇමැති මණ්ඩලය උපරිම 25යි

ආපු පාස්පෝට් තොගය හෙට බෙදනවා:ලබන සතිය වෙද්දි පෝලිම ඉවරයි – ඇමැති විජිත හේරත්

මේ අවස්ථාවේ රටට අවශ්‍ය සෑම අතින්ම බලවත් ආණ්ඩුවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ඔහු එසේ ප්‍රකාශ කළේ,ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය සඳහා ජාතික ජන බලවේගය පවත්වන රැලියකට පෙරේදා (20) කටුනායකදී සහභාගි වෙමිනි.

පෙබරවාරි අග, මාර්තු මාසයේ ඉදිරිපත් කරන නව අයවැය ලේඛනයෙන් රටට අලුත් උපායමාර්ග හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

“ක්ලීන් ශ්‍රී ලංකා යනුවෙන් විශාල ව්‍යාපෘතියක් අප ආරම්භ කරනවා. මෙරට ආර්ථිකය හදනකම් ජනතාවට දුක් විඳින්න ඉඩ දෙන්නේ නැහැ. ආර්ථිකය හදා එහි ප්‍රතිඵල ජනතාවට ගලාගෙන එන තෙක් ජනතාව බලාගන්න ආණ්ඩුවක් ලෙස කටයුතු කරනවා. තව මාස 3න්, 6න් මේ ආණ්ඩුව වැටෙයි කියා සමහරු කියන කතා දුකට කියන කතා ලෙස හඳුන්වන්න පුළුවන්. පරාජයේ වේදනාවට කියන කතායි. හැබැයි ඔවුන් එහෙම වෙන්නේ නැති බව දැනගෙන කියන්නේ. ජාතික ජන බලවේගය මේ කාර්යය අහවර කරන්නේ මේ රට හදලයි. නැතිව ආපසු හැරෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට මේ රටේ ජනතාවගේ විශ්වාසය තවතවත් වැඩිවෙනවා. උතුරු, නැඟෙනහිර, කඳුකර ජනතාව අපගේ ජයග්‍රහණයෙන් සතුටට පත් වී තිබෙනවා. ඔවුන් ඉදිරි මහ මැතිවරණයේදී අපගේ ජයග්‍රහණයට ශක්තියක් වේවි යැයිද මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

“පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම අප රැස්වීම් පැවැත්වූවා. ජනාධිපතිවරණය කියන්නේ අපේ ගමනේ ආරම්භයේ එක් පියවරක්.ශක්තිමත්ම පියවර කවද්ද?. නොවැම්බර් 14දා. එදින පැවැත්වෙන මහමැතිවරණයේදී වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයට අරන් දෙන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

මේ වේදිකාවේ ඉන්න අය පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක, අපේක්ෂිකාවන්. ඔබලාගෙන් බොහෝ දෙනෙක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට යනවා. පසුගිය කාලයේ පාර්ලිමේන්තුව ජනතාවගේ දැඩි විවේචනයට ලක්වුණා. ගංවතුර ගලන වෙලාවට ඕක ගිලෙනකම් ගලන්නේ නැද්ද කියා ජනතාව කියනවා අපට මතකයි. ඒ ජනතාව දක්වන විරෝධයයි. කොවිඩ් අවස්ථාවේදීත් පාර්ලිමේන්තු පොකුරක් ජනතාව බලාපොරොත්තු වුණා. පාර්ලිමේන්තුව අසල උත්සවයක් පැවැත්වෙන අවස්ථාවකදී කාලතුවක්කු වෙඩි බිමටම පාත් කර තියන්න කියා තරුණ තරුණියන් කියනවා අප අසා තිබෙනවා. ඇයි ජනතාව මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ. මේකට හේතුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයන්ගේ වැරැද්ද රටේ ජනතාව දැකීමයි. එදා හිටපු සෞඛ්‍ය ඇමැතිට විශ්වාසභංගයක් ගෙනෙන විට මොකද කළේ. විශ්වාසභංගය පරාජය කළා, සෞඛ්‍ය ඇමැති හරි කියා. අත ඉස්සුවේ කවුද? පාර්ලිමේන්තුවේ සිටිය අය. එතකොට ජනතාවට හැඟීමක් එනවා. මේ පාර්ලිමේන්තුව ජනතාවගේ ආයතනය වුණාට ජනතාවගේ වුවමනාව නියෝජනය කරන ආයතනයක් නොවන බවට. බොහෝවිට මේ පාර්ලිමේන්තුව අත ඔසවා තිබෙන්නේ ජනතාවගේ පැත්තට නොවෙයි. ජනතාවට එරෙහි පැත්තටයි. මේ පාර්ලිමේන්තුවේ හැසිරීම් කොහොමද තිබෙන්නේ. එකිනෙකා ගහමරා ගන්නවා. මිරිස් කුඩු ගෙනෙන, පිහි ගෙනෙන, ගාලගෝට්ටියක් බවට පත් වී තිබෙන එහෙට මෙහෙට පනින, සල්ලිවලට, ඇමැති ධුරවලට විකිණෙන පාර්ලිමේන්තුවක්. ඒ පාර්ලිමේන්තුවේ තිබෙන ස්වභාවය අනුව තමයි මේ රටේ ජනතාවගේ විරෝධය මතු වුණේ. රටේ කොතැනක හෝ තැනක ව්‍යසනයක් වෙනවා නම් ජනතාව හිතන්නේ ඒ ව්‍යසනය ඉස්සරලාම වෙන්න ඕනෑ පාර්ලිමේන්තුවට බව. ඇයි ඒ. එම ස්ථානය ඉතාමත්ම අප්‍රසන්න තැනක් බවට පත්වීම ඊට හේතුවයි. දරුවන්ට යෑමට සුදුසු නැති ස්ථානයක් බවට පාර්ලිමේන්තුව පත් වුණා. මට මතකයි අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුව පාසල් දරුවන්ට තහනම් කළා.පාසල් දරුවො ගැලරියේ ඉන්නවා ඉක්මනින් ඉවත් කර ගන්න කියනවා.එවැනි තත්ත්වයකටයි මේ පාර්ලිමේන්තුව පත් වුණේ.

මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ. එවැනි සංයුතියක් සහිත පාර්ලිමේන්තුවකින්. මෙවැනි කැත, අප්‍රසන්න පාර්ලිමේන්තුවකින් මේ රට ඉදිරියට ගෙනයන්න බැහැ. මේ රට ඉදිරියට ගෙනයන්න නම් මේ පාර්ලිමේන්තුව පිරිසුදු කරන්න ඕනෑ. එම පිරිසුදු කිරීමේ මහා ශ්‍රමදානය නොවැම්බර් 14 වැනි දින තිබෙනවා. අප ගොඩක් දේවල් පිරිසුදු කරන්න බලාගෙන සිටියේ පාර්ලිමේන්තු ඡන්දෙදී. ඒ නිසා ජනාධිපති ධුරය භාරගෙන කෙටි කාලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට අවස්ථාව දුන්නා. ඔවුන් අපේක්ෂා කරන පාර්ලිමේන්තුවක් හදා ගන්න. මේ වනවිට හැටකට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන්ම පිරිසුදු වෙලා.ගම්පහ නායකයත් එක්ක. ඒක හොඳයි. නොවැම්බර් 14 වැනි දින පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ඕනෑ.

එතකොට කට්ටිය කියනවා අලුත් අය කියා. ඔව්. අලුත් අයගෙන්ම තමා පුරවන්න ඕනෑ. ජාතික ජන බලවේගය නියෝජනය කරන අලුත් අය කවුද?. මහජනයාගේ ධනය සතයක් හොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති අය. ඒ අය පාර්ලිමේන්තු යැවිය යුතුයි.මේ මාලිමාව නියෝජනය කරන්නේ කවුද?. මේ රට ගොඩනැඟීමට අවංක වුවමනාවක් සහ ධෛර්යයක් තිබෙන මිනිස්සු. ඔවුන්ගෙන් තමා පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. අවංක මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. සුදුසු විනයක් සහිත කණ්ඩායමකින් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. එහෙට මෙහෙට පනින්නේ නැති, විකිණෙන්නේ නැති කණ්ඩායමකින් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. මේ පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වැනි දින පුරවන්න ඕනෑ මාලිමාව නියෝජනය කරන අපේ අපේක්ෂක සහෝදර, සහෝදරියන්ගෙන්.

පැරණි දේශපාලන පරිච්ඡේදය අවසන්. ඒ බව ඇතැමුන් දන්නවා.මේ ලියවෙන්න යන්නේ ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක්. ඒ නව පරිච්ඡේදය ලියන්න පුළුවන්කම තිබෙන්නේ අලුත් මිනිසුන්ට. වංචාවේ යෙදුණු, නීති කඩන, බලය අයුතු ලෙස උපයෝගි කරගන්න, කුඩු ව්‍යාපාරයට අනුබල දෙන, පාතාලය මෙහෙයවන, සාපරාධීව පරිසර විනාශය කරන මිනිසුන්ට මේ රටේ අලුත් පරිච්ඡේදයක් ලියන්න බැහැ.

අප උපරිම 25ක් තිබෙන ඇමැති මණ්ඩලයක් හදනවා. ඊට අනුරූප වන ලෙස නියෝජ්‍ය ඇමැති ධුර නිර්මාණය කරනවා. ක්‍රමානුකූලව රට ජයග්‍රහණ සඳහා මෙහෙයවන්න ජාතික ජන බලවේගයේ අප කටයුතු කරනවා. අප ඉදිරිය බලා කටයුතු කරන ගමන් මේ රටේ විසඳිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. එම ප්‍රශ්න විසඳන්නත් අප කටයුතු කරනවා. වත්තලින් පටන්ගෙන මීගමුවෙන් ඉවර වෙන කතෝලික ජනතාව ජීවත්වන ප්‍රදේශයේ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් මාලිමාවට අරන් දුන්නා. අපට හමුවුණේ පොලිස්පතිවරයෙක් නැති පොලිසියක්. අප ඉතා වැදගත් මහත්තයෙක් පොලිස්පති තනතුරට පත්කර තිබෙනවා. අප මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර ලේකම්වරයා ලෙස කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මහත්තයෙක් පත් කළා. වැළලී ගිය පරීක්ෂණ විධිමත්ව කිරීමට ආයතන පද්ධතිය සක්‍රිය කර තිබෙනවා. ඒ පිළිබඳව ඇතැම් කට්ටිය කලබල වෙලා. 2019 පාස්කු දින ප්‍රහාරයෙන් බලය ගන්න, පාස්කු දින ප්‍රහාරය මතුර මතුර ගිය කට්ටිය, 2019 ජාතිවාදය වපුරලා කුරුණෑගල මහ රෝහලේ ගර්භාශ යුද්ධයක් තිබෙනවා කියලා, ජාතිවාදය වපුරපු අය අවුරුදු 5කට පස්සේ, නැවත කොමා තත්ත්වයෙන් අවදි වෙලා.දැන් අවදිවෙලා කියනවා අර වාර්තාව දෙන්න.මේ වාර්තාව දෙන්න කියා. අවුරුදු 5ක් කොමා. ඒ වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා. එකක් රනිල් වික්‍රමසිංහ චැනල් -4 නාළිකාවේ ගිය වීඩියෝ පට පරික්ෂා කිරීමට කමිටුවක් පත් කළා. ඒ කිසිසේත්ම විමර්ශන කමිටුවක් නොවේ. කමිටුවක් පත්කර වාර්තාවක් ලබාදී තිබෙනවා. දෙවෙනි එක පාස්කු දින ප්‍රහාරයේදී ආරක්ෂක අංශවලින් යම් වැරැද්දක් සිදු වුණා ද කියා සොයා බලන්න තව කමිටුවත් පත් කර තිබෙනවා. ඒ දෙකම විමර්ශන කමිටු නොවේ. මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයාට යොමු කර තිබෙනවා. ඒ වගේම අගරදගුරු මණ්ඩලයේ ලේකම් රදගුරුතුමාටත් රදගුරු මණ්ඩලය වෙනුවෙන් යොමුකර තිබෙනවා. මේ වාර්තා කිසිවක් රහස් වාර්තා නොවේ. ඒවා අදාළ ආයතන වෙත යොමු කර තිබෙනවා. අප දන්නවා රනිල් වික්‍රමසිංහ මහතා සමහර කමිටු හැදුවේ ඔහුගේ වුවමනාව තිබුණේ, මේ පරීක්ෂණය ඇත්ත දිසාවට යොමු කිරීමට නොවේ, යටපත් කිරීමට. එම වුවමනාවෙන් තමා සමහර කමිටු නිර්මාණය කළේ. අපි බලය අරගෙන ඉතා කෙටි දවසකින් පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් දුන්නා පාස්කු දින ප්‍රහාරය පිළිබඳව විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියා. අන්න එතකොට කොමා වෙලා සිටිය අය අවදි වුණා. විධිමත් පරීක්ෂණයට බයයි. එය කඩාකප්පල් කරන්න ඕනෑ. අකුල් හෙළන්න ඕනෑ. ඇත්ත දිසාව වෙනස් කරන්න ඕනෑ. වෙන සමාජ මතයක් නිර්මාණය කරන්න ඕනෑ. මෙන්න මේ කූට වුවමනාවෙන් කොමා වෙලා ඉන්න අය අවදි වෙලා. හොඳට තේරුම් ගන්න මේ පුද්ගලයාගේ මැදිහත්වීම තිබෙන්නෙ පාස්කු දින ප්‍රහාරය සැබෑ වරදකරුවන් සොයා ගැනීම සඳහා වුවමනාව නොවේ. ඔහුගේ වුවමනාව තිබෙන්නේ, සැබෑ වරදකරුවන් සඟවන්න. ඒගොල්ලන්ගෙ කුලී කොන්ත්‍රාත් එකක් මේ ඉටු කරන්නේ. අප ඒවාට යට වෙන්නේ නැහැ. පාස්කු දින ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණ ඉටු කර මේ රටේ ජනතාවට ඇත්ත හෙළිදරව් කරනවා. අපට මොනවද හංගන්න තිබෙන්නේ. අපට කවුද බේරන්න තිබෙන්නේ. හංගන්න ඉන්නේ ඒගොල්ලන්ට. බේරන්න ඉන්නේ ඒ ගොල්ලන්ට. ඒ නිසා මතක තබාගන්න නැවත ඒ සෙල්ලම් කරන්න පුළුවන් 2015 රනිල් වික්‍රමසිංහත් එක්ක. කිසි දෙයක් හරියට කර ගන්න ඉඩ නොදී පෙරළන පෙරළන බාල්දියට පැටලි පැටලි වැටි වැටී තමයි රනිල් වික්‍රමසිංහ ගමන් කළේ 2015. මතක තියා ගන්න මේ ජාතික ජන බලවේගයේ අපි පෙරළන බාල්දිවල පැටලෙන්නෙත් නැහැ. බාල්දි පෙරළන අයට ඉඩ දෙන්නෙත් නැහැ. මේ පරීක්ෂණය විධිමත්ව ක්‍රියාත්මක වෙනකොට එය අඩපණ කිරීමට සැබෑ වගඋත්තරකරුවන් සැඟවීම සඳහා නැවත කුමන්ත්‍රණකරුවන් එළියට ඇවිත් තිබෙනවා.එයට ඉඩ නොදෙන බවට මම ඔබට සහතිකයක් දෙනවා.

අපි බලය ගන්නකොට ක්‍රමානුකුලව රට ස්ථාවර කිරීමේ අභියෝගය අපට තිබුණා.අයෝජකයන් අප ගැන අවිශ්වාස කළොත් අපි අනතුරට පත්වෙනවා. හෙල්ලෙන දත වගේ ආර්ථිකයක් අප ගත්තේ. මේ ආර්ථිකය කෙටිකාලීනව ස්ථාවර කර ගැනීමේ අභියෝගය අපට තිබෙනවා. එහිදී අදාළ පාර්ශ්වයන්ගේ විශ්වාස අප ඇති කළ යුතුයි. කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන්නන්ට විශ්වාසය තහවුරු කළයුතු වුණා. අපි ඒ කටයුත්ත කළා.අගමැතිවරිය සහ අපේ විජිත සහෝදරයා විදේශ ඇමැතිවරයා ලෙස අනෙකුත් සියලු දෙනාම එක් කර ගනිමින් රෑ දවල් නැතිව දෙස්, විදෙස් ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා කරනවා. අප ඔවුන්ට නැවත මෙරට ආර්ථිකය පිළිබඳව විශ්වාසය තහවුරු කළා. රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම, අපේ විරුද්ධ පාර්ශ්වය ගොඩනඟා තිබුණේ අප කෙරෙහි අවිනිශ්චිතභාවයක්. අප ආවොත් ඩොලරය ඉහළ යයි. ගෑස් සිලින්ඩරය පුපුරයි. තෙල් ගෑස් පෝලිම් ඇති වෙයි. ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය නැතිව යයි. හුදකලා වූ රාජ්‍යයක් නිර්මාණය වෙයි කියා ඔවුන් අනියත බියක් නිර්මාණය කළා. ඒ නිසා ආර්ථිකය කෙටි කාලයකින් ස්ථාවරයට ගෙනඒමේ අභියෝගය අපට ඇති වුණා. ජාතික ජන බලවේගයේ තුන්දෙනාගේ ආණ්ඩුව මේ රට ස්ථාවරභාවයට ගෙනත් තිබෙනවා. අප ඉදිරියට යන්න ඕනෑ. මේ දෙසැම්බර් මාසෙ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර ඉදිරි අවුරුද්දේ මුල් මාස කිහිපයට මුදල් වෙන් කර ගන්න බලාපොරොත්තු වෙනවා. පෙබරවාරි අග – මාර්තු මාසෙ වෙනකොට නව අයවැය ලේඛනයකින් මේ රටට අලුත් උපායමාර්ග හදුන්වා දෙනවා. මාර්තු මාසෙ නව අයවැය ලේඛනය සම්මත කර ගන්න බලාපොරොත්තු වෙනවා. සංචාරක කර්මාන්තය කෙරෙහි අප වැඩි අවධානය යොමු කර තිබෙනවා. 2025 වසර ලංකාවට වැඩිම සංචාරකයන් එන වසර බවට පත්කර ගන්නවා. “ක්ලින් ශ්‍රී ලංකා” යනුවෙන් විශාල ව්‍යාපෘතියක් අප ආරම්භ කරනවා. අපද්‍රව්‍යවලින් තොර, පරිසර පද්ධතිය ආරක්ෂා කරන, මිනිසුන් පරිසරයේ කොටසක් ලෙස කල්පනා කරන, පරිසරයේ පැවැත්මයි, මිනිසාගේ පැවැත්මයි, එකට යායුතු කියා කල්පනා කරන ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කරනවා. එකිනෙකා කෙරෙහි ලෙන්ගතුකමින් බලන සමාජයක් අප හදනවා. මේ සඳහා අප විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. එය මේ මහමැතිවරණයෙන් පසුව ආරම්භ කරනවා. මේකට සෑම කෙනාටම සම්බන්ධ විය හැකියි. අප එම වැඩසටහනින් ලස්සන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. රාජ්‍ය සේවය සමඟ පුරවැසියන්ගේ තිබෙන සම්බන්ධතාව හොඳ නැහැ. ඒ නිසා මේ රට ඩිජිටල්කරණයට ලක්කළ යුතුයි. අප ඩිජිටල්කරණ හා සම්බන්ධ වූ අමාත්‍යාංශයක් ගොඩනනවා. පසුගිය රජයේ අමනෝඥ තීරණ හේතුවෙන් වීසා ලබා ගැනීමේදී ප්‍රශ්න ඇති වුණා. ඒක සංචාරක ව්‍යාපාරයට බලපෑවා. රටින් වෙනත් සමාගම්වලට අනවශ්‍ය ලෙස මුදල් ගලාගෙන යෑම අප නැවැත්වුවා. පාස්පෝට් ගැටලුවට විසඳුම් ලබා දුන්නා. විශාල වැඩ කොටසක් ඉදිරියට කරන්න තිබෙනවා. ආර්ථිකය, සංචාර ව්‍යාපාරය කඩාවැටීමට නොදී අප පවත්වාගෙන යා යුතුයි.

අප ඉදිරි පිම්ම ගන්න ඕනෑ. සමහර තීන්දු අප ශක්තිමත්ව ගන්න ඕනෑ. ඒ සඳහා ශක්තිමත් ජනවරමක් අවශ්‍යයි. මේ නොවැම්බර් 14 වැනි දින පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු. වංචා, දූෂණ ගැන වැඩිපුරම කලබල වෙන්නේ ඒවාට සම්බන්ධ අයයි.”

ඇමැති විජිත හේරත් මහතා –

“පසුගිය කාලයේ ජාතික ජන බලවේගයේ සාමාජික, සාමාජිකාවන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළා. එදා අපි සජිත් ප්‍රේමදාස මහතාට කීවේ ඔහුට වඩා අනුර සහෝදරයා ඉදිරියෙන් සිටින බවයි. මෙවර අප ගම්පහ දිස්ත්‍රික්කය පෙරටත් වඩා ජයග්‍රහණය කරනවා. ඒ නිසා අපේ විරුද්ධවාදී දැනටමත් පල්ලම් බැස තිබෙනවා. අප තුන් දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලය පිහිටෙව්වා. අපි අනුර සහෝදරයාට එදත්, අදත්, හෙටත් සහෝදරයා කියා බොහොම ආඩම්බරයෙන් කියනවා.

අප පාලන බලය අරගෙන දින කිහිපයේ කළ වැඩ කොටස ජනතාවට දකින්න තිබෙනවා. ඊයේ රාත්‍රීයේ පාස්පෝට් තොගය ආවා. හෙට වනවිට පාස්පෝට් ටික බෙදනවා. ලබන සතිය වනවිට පාස්පෝට් පෝලිමත් ඉවරයි. අප කළ සියල්ල හොඳ නිසා අපේ විරුද්ධවාදීන්ට අපට විරුද්ධව කියන්න සටන් පාඨයක් නැහැ. අපට රට වෙනුවෙන් වැඩ කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පසුගිය ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් අය ද මෙවර මහමැතිවරණයේදී මාලිමාවට ඡන්දය දෙන බව අපත් සමඟ ප්‍රකාශ කරනවා. අපේ ජයග්‍රහණය ස්ථිරයි. අපට තිබෙන්නෙ මේ රට ගොඩනඟන සිහිනය. හෙට රුසියාවේදී බ්‍රික්ස් සමුළුව පටන් ගන්නවා. රුසියන් ජනාධිපති පූටින් මහතා අනුර සහෝදරයාට ඒ සඳහා සහභාගි වන ලෙස නිල වශයෙන් ආරාධනා කළා. මේ අවස්ථාවේ පවතින වගකීම් අනුව යන්න විදිහක් නැහැ. පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට එන්න කියනවා.යන්න විදිහක් නැහැ. අප රටක් ලෙස කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්නේ කොහොමද කියා ඔප්පු කර තිබෙනවා.

ප්‍රවීණ මලල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා –

“මෙහි රැස්ව සිටින සියලු දෙනා ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය ලබා ගැනීමට එක්ව කටයුතු කළා. දැන් අපට ඉතිරි වෙලා තිබෙනවා ෆයිනල් ගේම් එක. අපට ලස්සන ජීවිතයක් හදා ගැනීමට අපේ සහෝදර, සහෝදරියන් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. දේශපාලන වගේම ක්‍රීඩාවත් අන්ත දූෂිත තත්ත්වයට පත්වෙලා. අප ක්‍රීඩාව හරි පැත්තට ගෙන යා යුතුයි. මේ රට සංවර්ධනය කිරීමේ කටයුත්තේදී ක්‍රීඩාවත් වැදගත්. ජාතික ජන බලවේගයට ජයවේවා.”