නවසීලන්තයේ සුසී බේට්ස්ගෙන් වැඩිම තරග ගණනකට සහභාගිවී ලෝක වාර්තාවක්-ශ්‍රී ලංකාවට සහභාගිත්වය උදෙසා කෝටි 7යි ලක්ෂ 23ක්

ලෝක කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනූ නවසීලන්ත පිලේ ආරම්භක පිතිකාරිණී සුසී බේට්ස් ලෝකයේ වැඩිම තරග ගණනකට සහභාගිවූ ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වෙයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඇය පිටියට පිවිසියේ 334 වැනි තරගයටය. මෙයට පෙර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඉන්දීය ක්‍රීඩිකා මිතාලි රාජ් ජාත්‍යන්තර ක්‍රිකට් තරග 333කට සහභාගිවී සිටි අතර, එම වාර්තාව සුසී බේට්ස් පෙරේදා මකා දැමුවාය. සුසී බේට්ස් කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 163කට හා විස්සයි20 ජාත්‍යන්තර තරග 171කට සහභාගිවී තවමත් ජගත් කාන්තා ක්‍රිකට් බිමේ තරුවක් බවට පත්ව සිටින්නීය. මිතාලි රාජ් කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 232කට, විස්සයි20 ජාත්‍යන්තර තරග 89කට හා කාන්තා ටෙස්ට් තරග 12කට ක්‍රීඩා කළාය.

ලකුණු 32කින් දකුණු අප්‍රිකා කාන්තා පිල පැරදවූ නවසීලන්තය ලෝක ශූරතාව සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 2.34ක තෑගි මල්ල (ශ්‍රී ලංකා රුපියල් කෝටි 69ක) දිනාගත් අතර, අනුශූර දකුණු අප්‍රිකාවට ඩොලර් මිලියන 1.17ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 35ක්) මුදල් තෑග්ග හිමි විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ‘ඒ‘ කාණ්ඩයේ පස්වැනි තැනට පත්වූ ශ්‍රී ලංකාවට සහභාගිත්වය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 2,47,500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7යි ලක්ෂ 23ක මුදලක්) හිමි විය.

අවසන් පූර්ව වටයේදී පරාජය වූ ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් 9,12,116ක්, බටහිර ඉන්දීය කොදෙව් පිලට අමෙරිකානු ඩොලර් 8,80,962ක්, ‘ඒ‘ කාණ්ඩයේ තෙවැනි තැනට පත්වූ ඉන්දියාවට අමෙරිකානු ඩොලර් 4,44,808ක්, ‘ඒ‘ කාණ්ඩයේ සිවුවැනි තැනට පත්වූ පාකිස්තානයට අමෙරිකානු ඩොලර් 4,13,654ක්, ‘බී‘ කාණ්ඩයේ තෙවැනි තැනට පත්වූ එංගලන්තයට අමෙරිකානු ඩොලර් 4,75,962ක්, බී‘ කාණ්ඩයේ සිවුවැනි තැනට පත්වූ බංග්ලාදේශයට අමෙරිකානු ඩොලර් 4,13,654ක් හා ‘බී‘ කාණ්ඩයේ පස්වැනි තැනට පත්වූ ස්කොට්ලන්තයට සහභාගීත්වය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 2,47,500ක් ප්‍රදානය කෙරුණි.