ජනපති පළාත් ආණ්ඩුකාරවරුන් හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පළාත් ආණ්ඩුකාරවරු අතර හමුවක් අද (22) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

එහිදී පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී ඇති බව සඳහන්.

පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ඊට සාධනීය විසඳුම් ලබා දීමටද මෙහිදී තීරණය වූ බවයි වාර්තා වන්නේ.

පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදු කළ හැකි උපරිම සේවාව ලබා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලු මැදිහත් වීම් පළාත් සභාවලින් සිදු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාව තැබූ එම විශ්වාසය පලුදු නොවන ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය කර තිබෙන බවයි සඳහන්.

රජයේ දේපළ භාවිත කිරීමේදී පෙර පැවති නරක පූර්වාදර්ශවලින් මිදී කටයුතු කරන ලෙසත් ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා කැපවෙන ලෙසත් ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට ප්‍රකාශ කළා.

මෙහිදී උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් සහ පළාත් සභා මුදල් භාවිතය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර කන්තලේ ගොවි ජනතාවට ලබා දුන් ඉඩම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.