ඉන්දීය මනාලයා සහ පාකිස්තාන මනාලිය අතර ඓතිහාසික ‘ඔන්ලයින්’ විවාහයක්

ඉන්දියාවේ මනාලයකු සහ පාකිස්තානයේ මනාලියක අතර පසුගියදා ‘ඔන්ලයින්‘ ආකාරයෙන් අපූරු විවාහ උත්සවයක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ විවාහය සිදුවී ඇත්තේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ටහ්සීන් ශාහිඩ්ගේ පුත්‍රයකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර පදිංචි අන්ද්ලීප් සහ්රා නමැති තරුණියක අතර බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කිලෝමීටර් හත්සියයකට අධික දුරකින් පිහිටි රටවල් දෙකකට අයත් නගර දෙකක මනාලයා සහ මනාලිය අතර අන්තර්ජාලය ඔස්සේ ඉස්ලාම් ආගමික චාරිත්‍රයට අනුව විවාහය සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මනාල යුවළ අතර ‘ඔන්ලයින්‘ විවාහය සිදුවී ඇත්තේ දෙරට අතර පවතින දේශපාලන මතභේදය හේතුවෙන් මනාලයාගේ පාර්ශ්වයට ලාහෝර් නුවරට යෑමට පාකිස්තාන රජයෙන් වීසා බලපත්‍ර නිකුත් නොකිරීම නිසා බවද වාර්තා වේ. ඒ අතරතුර මනාලියගේ මව දැඩි ලෙස රෝගාතූර වීමෙන් රෝහල්ගත කිරීමට සිදුවීම ද ‘ඔන්ලයින්‘ විවාහයට හේතු වී ඇතැයි වාර්තා වේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මනාලයාගේ පාර්ශ්වයේ ආගමික චාරිත්‍ර සිදු කළ බවත්, අන්තර්ජාලය ඔස්සේ සජීවිව එම ආගමික වතාවත් සිදු වෙද්දී ලාහෝර් නුවර මනාලියගේ පාර්ශ්වය ද අන්තර්ජාලය ඔස්සේ සජීවීව මනාලයාගේ පාර්ශ්වය හා සම්බන්ධ වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා වේ.