රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර

නිදහස් සහ වගකිවයුතු මාධ්‍ය සම්ප්‍රදායක් ඇති කර ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට අයිතිවාසිකම් දී මාධ්‍යවේදීන්ගේ පවුල් සඳහා සුබසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) මාධ්‍ය උපමාන හා මැතිවරණ වියදම් නියාමනය පිළිබඳව බදුල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනි.

මැතිවරණ කොමිෂන් සභාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්වී සංවිධානකර තිබූ මේ වැඩමුළුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

“ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අද විවිධ අකටයුතුකම් සිදු වෙනවා. ඔවුන් අසරණ වී ඉන්නේ. සපයන ප්‍රවෘත්ති වාර්තාවලට සමහර මාධ්‍ය ආයතන නිසි ගෙවීම් කටයුතු සිදු කරන්නේ නෑ. මේ මාධ්‍යවේදීන්ට ස්ථීර ආදායම් මාර්ගයක් නෑ. ඔවුන්ගේ දුක අපි දන්නවා. නිදහස් සහ වගකිවයුතු මාධ්‍ය සම්ප්‍රදායක් අපි ඇති කරනවා.

මාධ්‍යවේදීන්ට එන්.වී.කිව්. මට්ටමේ සහතිකයක් දීමට අදාළ පුහුණුවක් දෙනවා. ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. වරප්‍රසාද වගේම එම පවුල් සඳහා සුබසාධන ක්‍රමයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මාධ්‍යවේදීන් සඳහා දුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර, කැමරා උපකරණ, යතුරුපැදි මිලදී ගැනීමට දුන් සහනදායී ණය යෝජනා ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට බැඳී සිටිනවා.”

මේ අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන, නීති විමර්ශන සැලසුම් අංශයේ අධ්‍යක්ෂ (පර්යේෂණ හා ක්‍රමසම්පාදන )චන්න පී. ද සිල්වා, මැතිවරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂ නීතිඥ චින්තක කුලරත්න, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රජයේ ප්‍රවෘත්ති නිලධාරී සමන් හේරත් මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.