දඬුබැඳිරුප්පේ මහින්ද හිමියෝ රංගිරි දඹුලු රාජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ නව භාරකාර ධුරයෙන් පිදුම් ලබති

ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ නව භාරකාර ධුරයට දඹුල්ල සිරි වළගම්බා පිරිවෙනෙහි පරිවේණාධිපති දඬුබැඳිරුප්පේ මහින්ද හිමියන් පෙරේදා (19) සිට පත් කොට ඇති බව මධ්‍යම පළාත් බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

ඒ අනුව විහාර හා දේවාලගම් පනතේ ඇති වගකීම් සහ පැවරී ඇති බලය අනුව රංගිරි දඹුළු රාජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නාහිමියන් විසින් නිර්දේශ කොට එවා තිබෙන ශාස්ත්‍රපති, පණ්ඩිත දඬුබැඳිරුප්පේ මහින්ද හිමියන් මෙසේ පත් කරනු ලැබ ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් වෙනුවට මධ්‍යම පළාත් බෞද්ධ කටයුතු කොමසාරිස් ඩබ්ලිව්. එම්. අනුරුද්ධ හේමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව එම පත්වීම උන්වහන්සේට භාරදී තිබේ.

රංගිරි දඹුලු රාජමහා විහාරය සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාරත්වය මීට පෙර දරනු ලැබුවේ දඹුල්ල මැද පන්සල ඇතුළු විහාර ගණයේ විහාරාධිපති සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල නාහිමියන් විසිනි. උන්වහන්සේගේ අපවත්වීමත් සමඟින් මෙහි භාරකාර ධුරය පුරප්පාඩුවී තිබිණි.

ඒ අනුව එම ධුරයේ වැඩ බැලූ ශාස්ත්‍රපති, පණ්ඩිත දඬුබැඳිරුප්පේ මහින්ද හිමියන් දඹුල්ල රාජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාරත්වය සඳහා සුදුසු බවට රංගිරි දඹුලු රාජමහා විහාරාධිපති, ආචාර්ය ගොඩගම මංගල නාහිමියන් නිර්දේශ කොට තිබිණි.

අභිනව භාරකාරත්වය උසුලන ශාස්ත්‍රපති, පණ්ඩිත දඬුබැඳිරුප්පේ මහින්ද හිමියන් දඹුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයත්, දඹුල්ල සිරි වළගම්බා පිරිවෙනේ පරිවේණාධිපති ධුරයත්, දඹුල්ල ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන රැසක විහාරාධිපති ධුරයත් උසුලන අතර, උන්වහන්සේ ඇතැබැඳිවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ විහාරාධිපති ලෙස ද කටයුතු කරති. එමෙන්ම

ශාසනජෝති, ත්‍රිපිටක විභූෂණ, ධර්මධජ යන ගෞරව නාම ද උන්වහන්සේට හිමිව තිබේ.