කැනේඩියානු රජය දෙබිඩි පිළිවෙතක බවට ඉන්දියාවෙන් චෝදනා-ඉන්දීය රජය කැනඩාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කළ බවට අගමැති ටෘඩෝ කියයි

කැනඩාව කේන්ද්‍ර කරගත් ඉන්දීය විරෝධී සික් බෙදුම්වාදීන් ඉලක්ක කරමින් ඉන්දියාව සිය රාජ්‍යයේ ස්වෛරීභාවය උල්ලංඝනය කර ඇතැයි ද, එමගින් ඉන්දියාව බරපතළ වරදක් සිදු කර ඇතැයි ද කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙපාර්ශ්වය අතර සික් බෙදුම්වාදීන් සම්බන්ධව රාජ්‍යතාන්ත්‍රික සබඳතා පළුදුවී වී ඇති අතර, දෙරටේම රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් පිටුවහල් කිරීමට කැනඩාව මෙන්ම ඉන්දියාව ද පසුගියදා පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය වසරේ ජූනි මාසයේ කැනඩාවේ වැන්කුවර්හිදී සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ලක්වීමට ඉන්දියාවේ සම්බන්ධයක් ඇති බවත්, ඒ සඳහා විශ්වාස කළ හැකි සාක්ෂි ඇති බවත් කැනේඩියානු අගමැතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.

එසේ වුවද මෑත කාලයේ කැනඩාවේ පුරවැසිභාවය ලැබූ සික් බෙදුම්වාදීන් එරට විවිධ පළාත්වලදී ඉන්දියාවට එරෙහිව විරෝධතාවක නිරතවීමත්, කැනඩාවේ ඉන්දීය මහකොමසාරිස් සංජේ කුමාර්ගේ අනුරුවක් සමඟ ඉන්දීය ජාතික ධජය පුලුස්සා දැමීමේදී කැනේඩියානු රජය මුනිවත රැකීම පිළිබඳ ඉන්දීය රජය ද සිය කනස්සල්ල පළ කළ බව වැඩිදුරටත් වාර්තා වේ. විරෝධතාකරුවන් කැනේඩියානු ජාතික ධජයක් පිලිස්සීමේදී එය ක්ෂණිකවම හෙළා දකිමින් වරදකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දෙන එරට රජය කැනේඩියානු භූමියේදී රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුගේ අනුරුවක් සහ විදෙස් රටක ජාතික ධජය පුලුස්සා දැමීමේදී කටයුතු කර ඇත්තේ දෙබිඩි පිළිවෙතකින් බවට ද ඉන්දියාව චෝදනා එල්ල කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.