හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න එපා-ජනපති තංගල්ලේදී කියයි

හොරු ඇල්ලුවද කියා සමහරු අහනවා. අල්ලනකොට කෙඳිරි ගාන්න එපා කියලා මම කියනවා. ෆයිල් හාරසිය ගණනක් තිබෙනවා. වසා දමා තිබෙන්නේ. ඒ පිළිබඳ අප පරීක්ෂා කළා. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ හිරවී තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිරවී තිබෙනවා. සමහර ඒවා අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාවේ හිරවී තිබෙනවා. සමහර ඒවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා.

අප අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙනවා සියල්ල යළි විවෘත කරන්නත්, ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය වන පරීක්ෂණ දියත් කරන්නත්. අපට කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩ බවට පත්වෙන්නේ නෑ. 2015 මුළුමනින්ම වංචනිකයන්ට දූෂිතයන්ට එරෙහි පරීක්ෂණ ප්‍රදර්ශනාත්මක වැඩ බවට පත්වුණා. අල්ලස් කොමිසමට ෆයිල් අරගෙන යනවා. වොයිස් කට් එකක් දෙනවා. ජාතික ජන බලවේගය කටයුතු කරන්නෙ ඉතාමත් සැලසුම්සහගතව. වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දීමේ බලාපොරොත්තුව ඉටුකරන ආණ්ඩුව තමයි අපි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ, ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය පවත්වන රැලි මාලාවේ පළමු රැලියට තංගල්ලේ දී පෙරේදා (19) සහභාගි වෙමිනි. පෙබරවාරි, මාර්තු වන විට ඉදිරිපත් කරන අය-වැය ලේඛනය තුළින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳ පාසල් දරුවන්ට ලබා දිය යුතු දීමනාවක් පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවැසීය.

එම අය-වැය ලේඛනයෙන් දිළිඳු ජනතාවට, ආබාධයට ලක්වූ පුරවැසියන්ට ලබාදෙන දීමනා වැඩි කරනවා. ඒ වගේම මෙම දෙසැම්බර් මාසයේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. 2025 මෙරටට සංචාරකයින් එන වැඩිම වසර බවට පත් කරනවා. මේ වනවිට අත්සන් කර ඇති රටට අහිතකර ගිවිසුම් පිළිබඳ අදාළ පාර්ශ්ව සමඟ නැවත සමාලෝචනයක් සිදු කරන බවට ඔවුන් දැනුම්වත් කර ඇත.

ජාතික ජන බලවේගයට තිබෙන ජනවරමේ ස්වභාවය මත ඇතැම් දේ පිළිබඳ තීන්දු තීරණ ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ ප්‍රකාශ කළා. ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාව නූතන යුගයට ගැළපෙන ලෙස ගොඩනඟන්නට ජාතික ජන බලවේගය අලුත් අමාත්‍යාංශයක් ගොඩනඟනවා. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයක් හදන්න බලාපොරොත්තු වෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරනවා. හිටපු ජනාධිපතිවරුන් බලාගන්න එක ආණ්ඩුව නතර කරනවා. මෙරට තිබෙන නීති විරෝධී ගිනිඅවි අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය මෙහෙයුමක් ඉදිරියේ දී දියත් කරනවා. මත්කුඩුවලින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම භාරගන්නවා. ඒ සඳහා වන සැලසුම් මේ වන විට දියත් කරමින් තිබෙනවා. මේ රටට අවශ්‍ය බලවත් ආණ්ඩුවක්. එහි අමාත්‍යාංශ 25ක් පවතින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා –

නොවැම්බර් මාසේ 14 දින තමයි මහා ශ්‍රමදානය පැවැත්වෙන්නේ. මේ රටේ ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ වුවමනාවක් තිබුණා මේ අප්‍රසන්න පාර්ලිමේන්තුව වෙනුවට පිරිසිදු පාර්ලිමේන්තුවක්. මෙම 14 දින පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ කාර්යභාරය මේ රටේ ජනතාව අතට අප දීලා තියෙනවා. හැබැයි මේ වන විට ජනතාව පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න කලින් ඇතැමුන් ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වෙලා. හම්බන්තොටටත් මේක විශේෂයි. අවුරුදු 88කට පස්සේ නම නැහැ ඡන්ද පත්‍රිකාවේ. ඒ සම්බන්ධයෙන් දැනට හරියටම ගණන් හිලව් හදන්න බැරි වුණත් අපි හොයලා බලපුවහම දැනෙනවා හැටකට වැඩි පිරිසක් ස්වෙච්ඡාවෙන්ම පිරිසිදු වෙලා තිබෙන බව. අපි ජනාධිපතිවරණයේ දී ලබාගත් ජයග්‍රහණය ස්ථාවර ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්න නම් නොවැම්බර් 14 දින ශක්තිමත් බලවත් පාර්ලිමේන්තුවත් ජාතික ජනබලවේගයට අවශ්‍යයි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අපට බොහෝ ජයග්‍රහණ ලබා දීලා තිබෙනවා. ඒ නිසා අප විශ්වාස කරනවා 14 දිනද ශක්තිමත් ජයග්‍රහණයක් හම්බන්තොට ජනතාව අපට ලබා දෙයි කියල. සහතික වශයෙන්ම මේ රට ජයග්‍රහණය සඳහා අප මෙහෙයවනවා.

විපක්ෂ පිරිස්වලට අපව කලබල කරන්න අවශ්‍ය වෙලා තිබෙනවා. හැබැයි අප කලබල වෙන්නේ නැහැ. අපේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. එය නිර්මාණය කිරීමේදී දේශපාලකයින් ලෙස ප්‍රධාන කැපවීම තිබෙන්නේ අපට. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව අප මේ රටේ ජනතාවට ඔප්පු කර පෙන්වා තිබෙනවා දේශපාලනය යනු කුමක්ද, ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියා. ජනාධිපතිවරණ ජයග්‍රහණය ඉතාමත් සාමකාමී ලෙස අනෙකාට කිසිම හිංසාවක් පීඩාවක් නොදී සැමරීම පිළිබඳ අප ඔබට ස්තූතිවන්ත වෙනවා. මේ වන විට

මහමැතිවරණ ව්‍යාපාරය දියත් වී තිබෙනවා. වෙනදාට මේ දිනවල සිදුවන්නේ එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම, කාර්යාල ගිනි තැබීමයි. හම්බන්තොට දිස්ත්‍රික්කයටත් මෙම තත්ත්වය විශේෂයි. ජාතික ජන බලවේගය ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව, සාමකාමීව මැතිවරණ කටයුතු කොහොමද ගෙන යන්නේ කියලා රටේ ජනතාවට අලුත් අත්දැකීමක් මේ වන විට ලබාදීලා තිබෙනවා. අපට අවශ්‍ය එහෙම රටක්.

අපේ රටේ දේශපාලන සංස්කෘතිය අතිශය පිරිහීමට භාජනය වී තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව, සාමකාමීව, සෑම කෙනෙකුගේම අදහස්වලට ගරු කරමින්, ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට තමන් කැමති මතය අනුව වැඩ කළ හැකි වටපිටාවක් ජාතික ජන බලවේගය ආණ්ඩුව පළමු වතාවට නිර්මාණය කරලා තිබෙනවා. ලෝක වාර්තාවක් සහිත ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නෙ. ජනාධිපතිවරයා සහ ඇමැතිවරු දෙන්නෙක් තමයි කටයුතු කරන්නේ. හැබැයි රටේ එදිනෙදා කාර්යයන් කිසිවක් බිඳවැටීමට ඉඩ නොදී, අනාගත සැලසුම් සඳහා අවශ්‍ය පදනම ක්‍රියාත්මක කරමින් මෙම ආණ්ඩුව වැඩ කරමින් තිබෙනවා. ශක්තිමත් විශ්වාසවන්ත, ධෛර්යවන්ත, මිනිසුන්ට කරන්න බැරි දෙයක් නොමැති බව අප ඔප්පු කර තිබෙනවා. ඒ වගේම නාස්තිය නතර කිරීම අපේ භාවිතාවෙන් තහවුරු කළා. මේ රටේ ජනතාව කවදාවත් අත් නොවිඳපු දේශපාලන සංස්කෘතියක් අප පියවරෙන් පියවර ස්ථාපිත කර තිබෙනවා. ජයග්‍රහණය සමරන්නේ කොහොමද, මැතිවරණ ව්‍යාපාර දියත් කරන්නේ කොහොමද, ආණ්ඩුවක් කරන්නේ කොහොමද, නාස්තිය නතර කරන්නේ කොහොමද ආදී සියල්ල අප මේ වන විට පෙන්නුම් කරමින් පවතිනවා. ශ්‍රී ලංකාව යළි පුනරුද යුගයක් කරා අපි මෙහෙයවමින් තිබෙනවා.

අප හමුවේ තිබෙන බැරෑරුම් අභියෝගය තමයි ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම. පසුගිය දිනවල ජනාධිපතිවරණ වේදිකාවේ අපට විරුද්ධ පාර්ශ්වයන් කළ කතා අපට මතකයි. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් ගෑස් සිලින්ඩරය පුපුරනවා. ඩොලරය ඉහළ යනවා, ගෑස් හිඟයක් නිර්මාණය වෙනවා, තෙල් හිඟයක් නිර්මාණය වෙනවා, ජාත්‍යන්තර සබඳතා නැතුව ආර්ථිකය විශාල කඩාවැටීමකට ලක්වෙනවා කීවා. අපේ ප්‍රබලම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කිරීම. අපි ඉතා කෙටි කාලයක් තුළ කොටස් වෙළඳපළත් සමඟ සම්බන්ධ වී සිටින ආයෝජකයන්ට විශ්වාසය තහවුරු කළා. ව්‍යාපාරිකයින්ට විශ්වාසය තහවුරු කළා. අප ජාත්‍යන්තර සංවිධාන සමඟ ඉතා හොඳින් රටට හිතකරවන ලෙස ගනුදෙනු කරමින් රට පිළිබඳ විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා. ඒ සියලු දෙනාගේ සැක දුරු කරමින් ස්ථාවර ආර්ථිකයකට පදනම දමා තිබෙනවා. අප මේ වන විටත් රුපියල් 15000ක් ලෙස හෙක්ටයාරයක් සඳහා තිබූ පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා වැඩි කළා. එය මේ මාසයේ සිට ලබා දෙන්න අපි කටයුතු කරනවා. විශ්‍රාමිකයින් සඳහා ගෙවන දීමනාව මේ ඔක්තෝබර් මාසයේ සිට රුපියල් 3000කින් වැඩි කරන්න අප කටයුතු කළා.

අප දෙසැම්බර් මාසයේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වෙනකොට අය-වැය ලේඛනය ඉදිරිපත් කරන සැලසුම් කර තිබෙනවා. ඒ අය-වැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අය-වැය ලේඛනයෙන් පාසල් දරුවන්ට ලබා දිය යුතු දීමනාවක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. මම ඔබට සහතික වශයෙන් කියන්නම් ඒ අය-වැය ලේඛනයේ දී දිළිඳු ජනතාවට, ආබාධයට ලක් වූ පුරවැසියන්ට ලබා දෙන දීමනාව අප සහතික වශයෙන් වැඩි කරනවා. අලුතින් රැකීරක්ෂා උත්පාදනය වීමට අවශ්‍ය වන ආර්ථික පදනම නිර්මාණය කරනවා. සංචාරක ව්‍යාපාරයට අහිතකර බලපෑමක් ඇති නොවුණොත් මේ රටට සංචාරකයන් එන වැඩිම වසර බවට 2025 පත් කරනවා. රටේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් සාමාන්‍ය පුරවැසියන් බලා ගැනීම අපේ වගකීමක්. හැම වේලාවෙම සහනාධාර මත දීමනා මත ජීවත්වන ජනතාවක් වෙනුවට ඔවුන්ට ආර්ථිකයේ හැකියාවක් පදනමක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. එය අප අය-වැය ලේඛනයේ සිට ක්‍රමානුකූලව දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විය යුතු පරිවර්තනය පිළිබඳ අප සාකච්ඡා කළා. හැම දරුවෙක්ම පාසලෙන් එළියට එන්න ඕනේ දැනුම මත හෝ වෘත්තීය පුහුණුව මත අත්දැකීම් සහිත අධ්‍යාපනය සහිත දරුවෙක් ලෙසයි.

හොරු ඇල්ලුවද කියා සමහරු අහනවා. අල්ලනකොට කෙඳිරි ගාන්න එපා කියලා මම කියනවා. ෆයිල් හාරසිය ගණනක් තිබෙනවා. වසා දමා තිබෙන්නේ. ඒ පිළිබඳ අප පරික්ෂා කළා. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තු හිරවී තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිරවී තිබෙනවා. සමහර ඒවා අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාවේ හිර වී තිබෙනවා. සමහර ඒවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා. අප අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙනවා සියල්ල යළි විවෘත කරන්නත්, ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය වන පරීක්ෂණ දියත් කරන්නත්. අපට කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩ බවට පත්වෙන්නේ නෑ. 2015 මුළුමනින්ම වංචනිකයන්ට දූෂිතයන්ට එරෙහි පරීක්ෂක ප්‍රදර්ශනාත්මක වැඩ බවට පත්වුණා. අල්ලස් කොමිසමට ෆයිල් අරගෙන යනවා. වොයිස් කට් එකක් දෙනවා. ජාතික ජන බලවේගය කටයුතු කරන්නෙ ඉතාමත් සැලසුම් සහගතව. වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දීමේ බලාපොරොත්තුව ඉටුකරන ආණ්ඩුව තමයි අපි.

සමහරු අපේ රටට අහිතකර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. අප ඒ ගිවිසුම්වල අනෙක් පාර්ශ්වයන්ට දැනුම් දී තිබෙනවා එම ගිවිසුම් සමාලෝචනය කිරීමට අවශ්‍ය බව. මේවා කරන්න ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් අවශ්‍යයි. එම ගිවිසුම් රටට හිතකර පරිදි වෙනස් කරන්න ඕනේ. ඒ සඳහා අප පසුබට වන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් අප පැහැදිලිව ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගයට තිබෙන ජනවරමේ ස්වභාවය මත අපට සමහර දේවල් පිළිබඳ තීන්දු තීරණ ගන්න වෙයි කියලා. මේ වෙනස්කම් සියල්ල කරන්න එළැඹෙන නොවැම්බර් 14 දින ශක්තිමත් ජනවරමක් ජාතික ජන බලවේගයට ලබා දෙන්න. සිහින දකින අයගේ එම අයිතියට අප බාධා කරන්නේ නෑ. ඔවුන් මාස තුනයි හයයි වැටෙයි, පව් ආදී වශයෙන් අප පිළිබඳ ප්‍රකාශ කරනවා. මතක තියාගන්න ජාතික ජන බලවේගය මේ ආරම්භ කරපු ගමන, මේ රට ගොඩනඟල මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමකින් තොරව නතර කරන්න බැරි බව හැම දෙනාම තේරුම් ගන්න ඕනේ. ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරය ලබා දෙනවා. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අප නිර්මාණය කරනවා. එළැඹෙන වසර පහ ඇතුළත වැදගත් පරිවර්තන අපේ රටට ගෙනෙනවා. මේ වන විට ලංකාවේ අදාළ ක්ෂේත්‍රයෙන් බිහිවී තිබෙන හොඳම විද්වතා අත්දැකීම් තිබෙන කෙනා ඔහුගේ රැකියාව අත්හැර ස්වේච්ඡාවෙන් අපේ රටේ සමස්තය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය ලබා දීම තව සතියකින් දෙකකින් ආරම්භ කරනවා. අපි අපේ ආණ්ඩුවේ පළමු කාලය නිමාවන්න පෙර රටේ පුරවැසියන්ට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා ගන්න තාක්ෂණය හරහා කිරීමට අවශ්‍ය වන පසුබිම ස්ථාපිත කරනවා. ෆයිල් ගොඩගහන රාජ්‍ය සේවයක් වෙනුවට නව යුගයකට අපේ රට රැගෙන යනවා. එතකොට පෝලිමේ ඉන්නේ නැතුව තම කටයුතු කරගන්න පුළුවන්. ඩිජිටල් රාජ්‍ය සේවයක් ඇති කරනවා. ඒකට අපි අලුත් අමාත්‍යාංශයක් ගොඩනඟනවා. විශාල වැටුප් ලබන පුද්ගලයන් ඒවා අතහැර මේ රට ගොඩනැ‍ඟීමේ කාර්යයට දායක වෙනවා. ශ්‍රී ලංකාව, පිරිසිදු ශ්‍රී ලංකාවක් බවට පත් පත් කරනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරනවා.

අප කිසිවකුගෙන් පළිගන්නේ නැහැ. හැබැයි මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණනින් විනාශ කරන දේශපාලනයකට ඉඩ දෙන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට ඇම්බියුලන්ස් රථයක් ඇතුළත් වාහන දාසය බැගින් ලබා දීලා තිබෙනවා. ජනාධිපතිවරුත් දෙන්නා ගාව ඇම්බියුලන්ස් රථ දෙකයි. ඒවා ඉතා ඉක්මනින් භාර දෙන්න කීවා. දැනට තිබෙන චක්‍රලේඛය අනුව වාහන තුනක් හිමියි. ඒවා ලබා දෙනවා. මේ වගේ සොයන්න කමිටුවක් පත් කර තිබෙනවා. හැබැයි හිටපු ජනාධිපතිවරු බලාගන්න එක ආණ්ඩුව නතර කරනවා. ආසන්නවම හිටපු ජනාධිපතිවරයා අපට ලියුමක් එවලා තිබෙනවා, එතුමට අවශ්‍යයි කෝකියෝ 16දෙනෙක්, ආරක්ෂාවට 163ක්, වාහන විසි ගණනක්, කුඩ තිහක්. ඒවා දෙන්න ඕනෙද? එවැනි දේ අප ලබා දෙන්නේ නැහැ. ඇම්බියුලන්ස් ගෙදර තියාගෙන ඉන්න කාටවත් දෙන්නේ නෑ. බොරුවට නිවේදන දාන්න එපා ආරක්ෂාවට තර්ජනයක් කියලා. මහජන දේපළ නාස්තිය වැළැක්වීමට ජනතාවගෙන් අපට ජනවරමක් ලැබී තිබෙනවා. පිස්තෝල සහ ආයුධ තියාගන්න බලපත්‍ර දීලා තියෙනවා. ඒවා නැවත ලබා දෙන්න කියා අප කීවා. ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා නම් ඒවා දෙනවා. විශාල අවි ආයුධ ප්‍රමාණයක් අපේ රටේ සංසරණය වෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ආයුධ හයක් හතක් දීලා තිබෙනවා. යෝෂිතට දීලා තිබෙනවා. ඇවන්ගාර්ඩ්ට ආයුධ අටක් දීලා තියෙනවා. අපේ රටේ තිබෙන නීති විරෝධී ගිනි අවි අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය මෙහෙයුමක් දියත් කරනවා. අප රටේ තැන තැන සිදුවන ඝාතන අපරාධ අවසන් කළ යුතුයි. මත් කුඩුවලින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම අප පාර ගන්නවා. ඒ සඳහා සැලසුම් දියත් කෙරෙමින් තියෙනවා. අපට විරුද්ධ පාර්ශ්වයන්ගේ බොරුවක් කියන්නවත් දැන් කෙනෙක් නැහැ. අනිත් දේශපාල පක්‍ෂවල කෙඳිරිලි දුකට කියන කතා. අප මේ වන විට අමාත්‍යාංශ විද්‍යාත්මකව හදා තිබෙනවා. දැනට 15යි. තව දින කීපයකින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයක් හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට 16යි. අප ඔබට කිව්වා අමාත්‍යාංශ 25යි කියලා. මේ සඳහා අවශ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරනවා. අද මේ රටට අවශ්‍ය බලවත් ආණ්ඩුවක්.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා-

අපේ රටේ ඉතිහාසයේ ලබන්න පුළුවන් විශාලම ජයග්‍රහණය ඇති කරගන්න අද අපි එකතුවෙලා සිටිනවා. අපි එදා කීවේ ජනතාවගේ ආණ්ඩුවක් හදන බවයි. අද අපි ජනාධිපති සහෝදරයෙක් හදා තිබෙනවා. අපට ලැබී තිබෙන බලය සම්පූර්ණ වීමට නම් පාර්ලිමේන්තුවේ බලයත් අප ලබාගත යුතුයි. පාර්ලිමේන්තුවේ සිටි දූෂිත කණ්ඩායම වෙනුවට අලුත් පිරිසක් පත් කරගන්න ඕනේ. ඒ සඳහා ජනතාවට වග කියන මාලිමාවේ කණ්ඩායම පත් කරගත යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේ දී පරාජය වූ කණ්ඩායම්වලට මේ වනවිට උතුර දකුණ සොයාගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. ජනාධිපතිවරණයේ දී ජනතාව නිවැරදි තීන්දුවක් ගත්තා. ඒක ඉතිහාසගත වන නිවැරදි තීන්දුවක්. මහමැතිවරණයේ දී අප ශක්තිමත් පාර්ලිමේන්තුව නිර්මාණය කරගන්න ඕනේ.

මෙම අවස්ථාව සඳහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, අන්‍ය ආගමික නායකයින්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් ඇතුළු විශාල ජනතාවක් සහභාගී වූහ.