හිටපු හමුදා ජෙනරාල් සුබියැන්ටෝ ඉන්දුනීසියාවේ නව ජනපති ධුරයේ දිවුරුම් දෙයි

හිටපු හමුදා ජෙනරාල්වරයකු සහ ආරක්ෂක ඇමැතිවරයකු වූ ප්‍රබෝවෝ සුබියැන්ටෝ ඉන්දුනීසියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව විශාලතම තුන්වැනි ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඉන්දුනීසියාවේ පසුගිය පෙබරවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 58% ක විශිෂ්ට ජයක් වාර්තා කළ 73 හැවිරිදි සුබියැන්ටෝ එරට අටවැනි ජනාධිපතිවරයා වන අතර, ඔහු මීට පෙර 2014දී සහ 2019 දී ජනාධිපතිවරණයට තරග කර පරාජයට පත්වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ජාතිය ඇමතූ සුබියැන්ටෝ වංචාව හා දූෂණය තුරන් කරන බවට සෙසු ජනාධිපතිවරුන් මෙන්ම ජනතාවට පොරොන්දු වූ බව ද වාර්තා වේ. ඔහුගේ කතාවේ කැපී පෙනෙන සිදුවීම වන්නේ පලස්තීනයට සහාය දක්වන බවත්, ඉදිරියේදී ගාසා තීරයට මානුෂීය ආධාර යැවීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කිරිමය.