මහ මැතිවරණයට තරග වදින අපෙක්ෂකයකුගේ පොස්ටර්-කොඩි තොගයක් සමඟ ජීප් රියක් අත්අඩංගුවට

මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින අපෙක්ෂකයකුගේ මැතිවරණ පොස්ටර් හා කොඩි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ජීප් රථයක් ඊයේ (19) දින බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන සහකාර තේරීම් භාර නිලධාරි රෝහණ බණ්ඩාර මහතා හා එම පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන⁣ පොලිස් පරීක්ෂක චාමින්ද ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් එම ජීප් රථය තුළ තිබී පොස්ටර් 797ක් සහ කොඩි 20ක් හමු වූ බවද එම මධ්‍යස්ථානය පවසයි.

මහ මැතිවරණයට අදාළව බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට පැමිණිලි හයක් ලැබී ඇති අතර, නීති විරෝධි ද්‍රව්‍ය බෙදාහැරිම සහ පරිත්‍යාග සිදු කිරීමට පැමිණිලි 2ක්, නීති විරෝධි පෙළපාළි, රැස්වීම් හා කාර්යාල පවත්වාගෙන පැමිණිලි 2ක් හා වෙනත් සුළු පැමිණිලි 2ක් වශයෙන් එම පැමිණිලි ලැබී ඇතැයිද වාර්තා වේ.

මහ මැතිවරණය සඳහා තරග වදින දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂක මහත්ම මහත්මීන් හෝ ඔවුන්ගේ ආධාරකරුවන් විසින් සිදු කරනු ලබන නිති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති මැතිවරණ පැමිණිලි නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ අංක 0553128769 දුරකතන අංකයට හා 0552222431 දරන ෆැක්ස් අංකය වෙත එම පැමිණිලි කළ හැකි බවද එම කාර්යංශය තවදුරටත් පැවසීය.