මහින්ද වාහන 8ක් භාරදීලා රනිල් ළඟ 11ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16න් 8ක් දැනටමත් භාර දී ඇති අතර අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11ක් මේ වන විටත් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙරේදා (19) සඳහන් කළේය. එම නිවේදනය මෙසේය. “මහින්දට දුන් වාහන තුනක් ආපසු ගනී” යනුවෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධව පැහැදිලි කරමින් යොමු කර ඇති මෙම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතේ 3 (2) වගන්ති අනුව සෑම හිටපු ජනාධිපතිවරයෙකුටම සහ සෑම හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුට තත්කාලයේ සපයනු ලබන නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් සලසනු ලැබිය යුතු බවයි.

මීට අමතරව 2010 මැයි 14 දින එවක ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යවන ලද ලිපියේ 3.1 වගන්තිය අනුවද අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම නිල වාහන (මෝටර් රථ, ජීප්, ඩබල් කැබ්) සංඛ්‍යාව තුනක් වේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා දැනට භාවිත කරනු ලබන අතිරික්ත වාහන භාර දෙන ලෙස ලිපි මඟින් දැනුම් දී ඇත.