බණ්ඩාරවෙල කිරිඔරුව මාර්ගය ගිලාබැහැලා-මාර්ග සංවර්ධන අධිකාරියේ දියතලාව ප්‍රා/ ඉංජිනේරු ජනක රත්නායක

බණ්ඩාරවෙල, බිඳුණුවැව, දික්උල්පත, කිරිඔරුව මාර්ගය ගිලා බැසීමට ලක් වීමෙන් මාර්ගයේ මීටර් 25ක පමණ කොටසක් කැඩී ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ දියතලාව ප්‍රාදේශීය ඉංජිනේරු ජනක රත්නායක මහතා පවසයි.

මේ මාර්ගය ඔස්සේ බණ්ඩාරවෙල, බිඳුණුවැව හරහා කිරිඔරුව දික්උල්පත දක්වා මගී ප්‍රවාහන බස් රථ ද ධාවනය වන අතර මේ හේතුවෙන් අනතුරුදායක තත්ත්වයක් උදාවී ඇතැයි ජනතාව පවසති.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ මාර්ගය යටින් ජල නළ එළා තිබෙනවා. එම ජල නළයක් කැඩී ගොස් විශාල ජල පහරක් කාන්දු වීම නිසා මාර්ගයේ යට කොටස මෙලෙස සෝදාපාළුවට ලක්වී ගිලා බැස අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. දැනටමත් මාර්ගයේ යට කොටස මීටර් 25ක පමණ දුරට කැඩී තිබෙනවා. මේ ස්ථානයේ ආරක්ෂිත බැම්මක් ඉදිකර මාර්ගය ආරක්ෂා කිරීමට කටයුතු සිදු කරනවා.”