නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය

නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් හොංකොං ජාතික කණ්ඩායමට එරෙහිව ලකුණු 42ක ජයක් වාර්තා කළේය.

ඊයේ ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 178ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස හොංකොං කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 136ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං පිල වෙනුවෙන් යසිම් මුර්ටාසා හයේ පහර 4ක් සමඟ පන්දු 31කින් ලකුණු 44ක් සහ බාබර් හයාත් ලකුණු 38ක් රැස් කළහ. ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 61කින් ලකුණු 74ක සබඳතාවක් ගොඩනැඟුවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමේදී නිපුන් රන්සික කඩුලු 3ක් බිඳ දැමූ අතර, ඒෂාන් මාලිංග කඩුලු 2ක් දවා ගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් යශෝධ ලංකා ලකුණු 56ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟිනි. මේ තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ යශෝධ තෙවැනි කඩුල්ලට පවන් රත්නායක සමඟ එක්ව පන්දු 18කින් ලකුණු 51ක් එක් කළේය. පවන් ලකුණු 23ක් හා නායක නුවනිඳු ප්‍රනාන්දු පන්දු 18කින් ලකුණු 25ක් ඉනිමට එක් කළහ. 6 වැනි කඩුල්ලට එක් වූ සහන් ආරච්චිගේ සහ රමේෂ් මෙන්ඩිස් අවසන් පන්දු 17දී වේගවත් ලකුණු 36ක නොබිඳුණු සබඳතාවකින් ලකුණු පුවරුව 178 දක්වා ඉදිරියට ගෙන ගියහ. සහන් පන්දු 15කින් ලකුණු 23ක් සහ රමේෂ් පන්දු 12කින් ලකුණු 24ක් රැස් කළහ. පන්දු යැවීමේදී අතීක් ඉක්බාල් කඩුලු 2ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා පිල සහභාගී වන මූලික වටයේ අවසන් තරගය හෙට (22) රාත්‍රි 7.00ට බංග්ලාදේශ ‘ඒ’ පිලට එරෙහිව පැවැත්වේ.

ශ්‍රී ලංකා ‘ඒ’ – 178/5 (ඕවර 20) යශෝධ ලංකා 56, නුවනිඳු ප්‍රනාන්දු 25, රමේෂ් මෙන්ඩිස් නොදැවී 24, සහන් ආරච්චිගේ නොදැවී 23, පවන් රත්නායක 23 (අතීක් ඉක්බාල් 26/2)

හොංකොං – 136/7 (ඕවර 20) යසිම් මුර්ටාසා 44, බාබර් හයාත් 38 (නිපුන් රන්සික 17/3, ඒෂාන් මාලිංග 20/2).