ඊශ්‍රායල අගමැතිවරයාගේ නිවෙසට ඩ්‍රෝන ප්‍රහාරයක්-හෙස්බුල්ලා සංවිධානයට වන්දි ගෙවීමට සිදු වනු ඇතැයි අගමැති කියයි

ඊශ්‍රායලයේ සීසේරියා ප්‍රදේශයේ පිහිටි එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පෞද්ගලික නිවෙසට හෙස්බුල්ලා සංවිධානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සෙනසුරාදා එල්ල වූ එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් නිවෙසට සුළු හානි සිදුවී ඇති අතර, ජීවිත හානි කිසිවක් සිදු නොවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායල අගමැතිවරයා සතුව නිවාස තුනක් ඇති අතර, එම නිවාස තුනටම ඩ්‍රෝන ප්‍රහාර තුනක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඩ්‍රෝන යානය අගමැතිවරයාගේ නිවෙස ඉලක්ක කරමින් පියාසර කළ මුළු කාලය තුළ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ හෙලිකොප්ටරයක් එය ලුහුබැඳ ගියද එය අසාර්ථක වූ බවත්, ඩ්‍රෝන යානය නිවෙසට කඩා වැටී පිපිරී ගිය බවත් වැඩිදුරටත් වාර්තා වේ. කෙසේවුවද සෙසු නිවාස දෙකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර මිසයිල නාශක පද්ධතිය මගින් වළක්වා ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් වූ බව ද වාර්තා වේ.

ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී අගමැතිවරයා එහි නොසිටි බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළ අතර, සිය නිවාස ඉලක්ක කරමින් හෙස්බුල්ලා සංවිධානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධව එදිනම පස්වරුවේ අගමැතිවරයා නිල නිවේදනයක් නිකුත් කළ බව ද වාර්තා වේ.

ඉරානයේ සහාය ලබන හෙස්බුල්ලා සංවිධානය තමා සහ බිරිය ඝාතනය කිරීමට උත්සාහ දැරූ බවත්, එය හෙස්බුල්ලා සංවිධානය සිදු කළ බලවත් වරදක් බවත් බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරයට හෙස්බුල්ලා සංවිධානයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද අගමැතිවරයා අනතුරු අඟවා තිබේ.

ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම හෙස්බුල්ලා සංවිධානය මෙතෙක් බාර ගෙන නැති අතර, උතුරු හා මධ්‍යම ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයක් එල්ල කළ බව පමණක් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.