සුළි කුණාටුවක් කියුබාවට අත වනයි

ගිනිකොනදිගින් බහමාස් රාජ්‍යයට කඩා වැදුණු ‘ඔස්කාර්‘ සුළි කුණාටුව ඊයේ කියුබාව දෙසට ගමන් කිරීමට පටන් ගත් බව අමෙරිකාවේ මියාමි ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘ඔස්කාර්‘ සුළි කුණාටුව බහමාස් රාජ්‍යයට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති කළ බවත්, ඉන් සිදුවූ හානිය අනාවරණය වීමටත් පෙර සුළි කුණාටුව නැඟෙනහිර දෙසින් කියුබාවට හමා යමින් තිබෙන බවත් මියාමි ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

පැයට කිලෝමීටර් 130ක වේගයෙන් හමා යන බවට වාර්තා වන එම සුළි කුණාටුවේ වේගය ගොඩබිමට ආසන්න වෙද්දී තවත් ඉහළ යනු ඇතැයි ද අනාවැකි පළ වී ඇත. ඔස්කාර් සුළි කුණාටුව කියුබාවට කඩා වදිමින් සිටින්නේ එරට දරුණුතම විදුලි විසන්ධි වීමක් සිදු වී ඇති අවස්ථාවකදී බවත්, එය යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සිදු කරමින් සිටින අවස්ථාවකදී බවත් වැඩිදුරටත් වාර්තා වේ.