ශ්‍රී ලංකාවට ඕවර 37කදී ලකුණු 232ක ඉලක්කයක්-නිශාන් මධුෂ්ක එක්දින වරම්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් පැය තුනහමාරකට ආසන්න කාලයක් අහිමි විය.

මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 38.3කට මුහුණ දී තිබියදී පිටියට වර්ෂාව පතිත වූ අතර, යළි රාත්‍රී 8.25ට පමණ තරගය ආරම්භ වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා පිලට ඕවර 37කදී ලකුණු 232ක ඉලක්කයක් සමඟිනි.

පස්වරු 5.00ට පමණ වැස්ස පතිත වන විට කොදෙව් පිල කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස් කර සිටි අතර, ෂර්ෆාන් රදර්ෆර්ඩ් ලකුණු 74ක් සහ රොස්ටන් චේස් ලකුණු 33ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. රදර්ෆර්ඩ් පන්දු 82කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් එල්ල කර තිබූ අතර, හතරේ පහර 4ක් එල්ල කළ චේස් මුහුණදී තිබුණේ පන්දු 33කට පමණි. 26 වැනි ඕවරයේදී සිව්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු එක් වූ මේ දෙදෙනා වර්ෂාව ඇද වැටීමේ ලකුණු පහළ වීම හේතුවෙන් 3 දශම ගණනක්ව තිබූ ලකුණු රැස් කිරීමේ වේගය 4.5කට වඩා ඉදිරියට ගෙන ගියහ. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ලට ලකුණු 85ක් එක් කළේ පන්දු 78කිනි. කෙදෙව් ඉනිම ඇරඹූ ඇලික් අතනාසේ (10) සහ බ්‍රෙන්ඩන් කිං (14) ලකුණු 41ක් වෙද්දී යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට වනිඳු හසරංග සමත් වූ අතර, නායක ෂායි හෝප් තෙවැනි කඩුල්ල ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන විට රැස් කර සිටියේ ලකුණු 5ක් පමණි. කිසී කාර්ටි සමඟ සිව්වැනි කඩුල්ලට එක්වූ රදර්ෆර්ඩ් ලකුණු 46ක සබඳතාවක් ගොඩනැඟූ අතර, ලකුණු 37ක් ලබා සිටි කර්ටි දවා ගැනීමට නායක චරිත් අසලංක සමත් විය.

මේ තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට සමත් විය. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි 214 වැනි ක්‍රීඩකයා ලෙස ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා අතින් එක්දින හිස්වැස්ම ලබා ගත්තේය.