වතුකරයේ පාසල්වල් වැඩිදියුණුවට ඉන්දීය රජයෙන් මිලියන 600ක්–ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය

වතුකරයේ පාසල් නවයක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 600ක් ලංකා රජයේ ඉල්ලීම පරිදි වෙන්කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඊට අදාළ රාජ්‍ය තාන්ත්‍රික ලිපි අත්සන් කිරීම ඉකුත්දා (18) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් එච්. ඊ. සන්තෝෂ් ජා මහතා සහ අධ්‍යාපන හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සමඟ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී සිදු කෙරිණි.

මේ යටතේ හඳුනාගෙන ඇති මධ්‍යම පළාතේ වතුකර පාසල් හයක් සහ ඌව, සබරගමුව සහ දකුණු පළාතේ එක් පාසල බැගින් මේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිතය. මේ නව ව්‍යාපෘතියත් සමඟ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැනට ක්‍රියාත්මක සංවර්ධන හවුල්කාරිත්ව වැඩසටහන් තවදුරටත් පුළුල් කෙරෙනු ඇති බව ඉන්දීය මහකොමසාරිස් එච්. ඊ. සන්තෝෂ් ජා මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය මහකොමසාරිස්වරයා මෙසේ ද පැවැසීය.

“ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ උපකරණ සැපයීමට අමතරව පුහුණුවීම් සහ ධාරිතා ගොඩනැංවීමට සහාය දීමටත් ඉන්දිය රජයේ සහාය නිරන්තරයෙන්ම ලැබෙනවා. මේ වන විටත් උතුරු පළාතේ පාසල් 100කට අධික ප්‍රමාණයක ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සහාය පළකිරීමට ඉන්දීය රජයට හැකිවී තිබෙනවා. මීට අමතරව දකුණු සහ නැඟෙනහිර පළාත්වල විද්‍යුත් පුස්තකාල 40ක් පිහිටුවීම, අධ්‍යාපන ආයතන සඳහා බස් රථ 110ක් සැපයීම, සියලුම පළාත්වල ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර පිහිටුවීම, රුහුණු විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය ඇතුළුව ආයතන රැසක ශ්‍රවණාගාර පිහිටුවීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, උතුරු මැද පළාතේ පොලොන්නරුවේ බහු වාර්ගික ත්‍රිභාෂා පාසලක් ඉදිකිරීම, මධ්‍යම පළාතේ හැටන්හි පිහිටි තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ නැඟෙනහිර පළාතේ වන්තාරමුල්ලෙයි සහ ඔන්තචිමඩම් මධ්‍යස්ථාන වැනි වෘත්තීය පුහුණු ආයතන සඳහා සහාය දැක්වීම සහ දකුණු පළාතේ ගාල්ලේ පාසල් 200ක ස්මාර්ට් පන්ති කාමර සහ පරිගණක විද්‍යාගාර පිහිටුවීමටත් ඉන්දීය රජයට මැදිහත්වීමට හැකිවීම පිළිබඳව අපි බොහෝ සේ සතුටු වෙනවා.

ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද ඉන්දීය රුපියල් මිලියන 750ක බහුආංශික ප්‍රදාන ආධාර යටතේ වතුකරයේ පාසල් සඳහා STEM විෂයයන් සඳහා මාස තුනක ගුරු පුහුණු වැඩසටහනක් ද පසුගියදා පැවැත්වුණා.”