බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සහ ආදායම් බදු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ වසර 2022/2023 ට වඩා වසර 2023/2024 පුද්ගල ආදායම් බදු ලියාපදිංචි ලිපිගොනු සංඛ්‍යාව වැඩි වී තිබේ.
වසර 2022/2023 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කළ සංඛ්‍යාව 333,313ක් විය . එම සංඛ්‍යාව වසර 2023/2024 කාලයේදී 868,009ක් වැඩි වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
ව්‍යාපාරිකයින්, වෘත්තීයවේදීන්, වත්කම් හිමි කරගත් පුද්ගලයන් වැනි පිරිස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කොට ආදායම් බදු සඳහා ලියාපදිංචිය ඒ අනුව පුළුල් කර ඇතැයි ද ඇය කීවාය.
ලියාපදිංචි කරගනු ලැබූ එම පුද්ගලයින් වෙත මාර්ගගත ක්‍රමය ඔස්සේ තම ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු බව සහ ගෙවීමක් උද්ගත වුවහොත් භාවිත කිරීම සඳහා ගෙවීම් පත්රිකාවක්ද මේ වන විට තැපැල් මඟින් යොමු කොට ඇත.
ආදායම් බද්ද සඳහා දැනට ලියාපදිංචි කර ඇතත් ව්‍යාපාර කටයුතු අවසන් කර තිබීම, ආදායම් මාර්ග නොමැති වීම වැනි සාධාරණ හේතුවක් මත බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම් ඒ බව සනාථ කළ හැකි ලිපි ලේඛන සමඟ ළඟම පිහිටි දේශීය ආදායම් කාර්යාල වෙත ඉල්ලීම් කිරීම මඟින් ආදායම් බදු සඳහා කර ඇති ලියාපදිංචිය අක්‍රිය කර ගත හැකිය.
මාසයකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ දොළහකට වැඩි ආදායම් ලබන පුද්ගලයන් ආදායම් බදු ගෙවිය යුතුය. එයට නොවැඩි වැටුප් හා ආදායම් නොලබන පිරිස් බදු ගෙවිය යුතු නොවෙයි.