කායික දුබලතාවෙන් යුතු තැනැත්තන්ට විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 83 (4) (ඇ) ඡේදය අනුව, යම් කිසි කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පා ගමනින් හෝ වෙනත් පොදු ප්‍රවාහන සේවාවක් මඟින් ඡන්ද පොළට යෑම සහ ඒම කළ නොහැකි නම්, ඡන්ද පොළට යාම සහ ඒම සඳහා යම් වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා ස්වකීය ඡන්ද වීමසීම් ප්‍රදේශයේ තේරීම් භාර නිලධරයා වෙත තමා විසින්ම හෝ එසේ නොමැති නම් තමා වෙනුවෙන් අපේක්ෂකයකු, ස්වාධීන කණ්ඩායම් නායකයකු, බලය ලත් නියෝජිතයකු, ප්‍රාදේශීය නියෝජිතයකු නොවන වෙනත් අයකු විසින් හෝ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.
මෙම පහසුකම් සඳහා වූ අයදුම්පත්‍ර, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍රය ඡන්ද විමසීම් දිනයට දින හතකට පෙර, එනම්, 2024 නොවැම්බර් 07 වන දින හෝ ඊට පෙර අදාළ තේරීම් භාර නිලධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති) හෝ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස් (දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය) වෙත ඉදිරිපත් කළ යුතු බවද එහි දක්වා ඇත.
අයැදුම්පත්‍රය ඉදිරිපත් කරන තැනැත්තා, තමාට පොදු වාහනයකින් හෝ පයින් ඡන්ද පොළට යාම් ඊම් කිරීමට නොහැකි බව තහවුරු කරමින් ලියාපදිංචි වෛද්‍යවරයකුගෙන් (බටහිර හෝ දේශීය) ලබාගත් වෛද්‍ය සහතිකයක් මඟින් සිය අයදුම්පත සනාථ කරන්නේ නම්, තීරණයක් ගැනීමේ දී එය තේරීම් භාර නිලධාරියාට මහත් පහසුවක් වනු ඇත. තමා පරීක්ෂා කර බලා සහතිකයක් නිකුත් කරන ලෙසට එබඳු තැනැත්තෙකුට රජයේ වෛද්‍යවරයකුගෙන්, ලියාපදිංචි හෝ සහකාර වෛද්‍ය වෘත්තිකයකුගෙන් හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ඉල්ලීමක් කළ හැකි ය. පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් (බටහිර හෝ දේශීය) ලබාගන්නා සහතිකවල එම වෛද්‍යවරයාගේ නම සහ ලියාපදිංචි කළ අංකය සඳහන් කළ යුතු වන බවද එහි දක්වා ඇත.
එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ආබාධිත හා දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් නිකුත් කරනු ලබන වසර 10ක් වලංගු තාවකාලික හැඳුනුම්පත් හිමි පුද්ගලයන් වෛද්‍ය සහතිකය ලබාගැනීම
අවශ්‍ය නොවන බවද එහි වැඩිදුරටත් දක්වා ඇත.