හදිසි අනතුරකට ලක් වීමෙන් ඔස්ට්‍රේලියාවේදී පසුගියදා (14) මිය ගිය හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන නීල් හපුහින්න මහතාගේ අවසන් කටයුතු ලබන 23 බදාදා ප.ව. 2.00ට ඔස්ට්‍රේලියාවේදී සිදු කරන බව ඔහුගේ පවුලේ ඥාතීහු සඳහන් කරති.
ඔස්ට්‍රේලියාවේ ඇක්ලන් නුවර, 400, ඇල්බන් ක්‍රික් පාර, බ්‍රිජ්මන් ඩවුන්ස් නම් ස්ථානයේදී අවසන් කටයුතු සිදු කරන බව ඔවුන් දැනුම් දෙන අතර, අවසන් කටයුතුවලට අදාළ මෙරට වත් පිළිවෙත්වලට අදාළව ලබන 20 දා රාත්‍රී 7.00ට ධර්ම දේශනාමය පින්කමක් සහ පසුදින සංඝගත දක්ෂිනාවක් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කරන බවද සඳහන් කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ඇතුළු පැවැති ආණ්ඩු කිහිපයකම ප්‍රධාන තනතුරු දරා ඇති නීල් හපුහින්න මහතා මිය යන විට 61 හැවිරිදි වියේ පසු විය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු සිය දරු පවුල සමග ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචියට ගොස් ඇත. සිය වැඩිමල් දියණියගේ විවාහ උත්සවය මෙරට පැවැත්වීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේ ඔහු අවසන් වරට මෙරටට පැමිණ තිබේ. දියණියන් දෙදෙනකු පියකු වන හපුහින්න මහතාගේ බිරිය නීතිඥවරියකි.