බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හදිසි රැස්වීමක් කැඳවා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය තහනම් කිරීමට තීරණය කරයි. ඒ සමඟ බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් විසින් එම පුහුණුකරු ධූරය බටහිර ඉන්දීය කොදෙව් පිලේ ෆිල් සිමන්ස් වෙත පවරා ඇති බව නිවේදනය කළේය. පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තනතුරෙන් පහකළේ විනය හේතූන් මත බවත්, පසුගිය වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශ ක්‍රීඩකයෙකුගේ කනට පහරදීමක් වාර්තා වූ බවත්, ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍යයට පවසා ඇත.
“හතුරුසිංහ නුසුදුසු හැසිරීම් දෙකකට මුහුණ දී සිටිනවා. පළමු නඩුව වන්නේ ක්‍රීඩකයෙකුට අතක් එසවීමයි. දෙවනුව, ඔහු තම කොන්ත්‍රාත්තුවේ නියම කර ඇති ප්‍රමාණයට වඩා වැඩි දින ගණනක් නිවාඩු ලබා තිබෙනවා. ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙකුට පහරදීම සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහට චෝදනා එල්ල වුණා. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය චෝදනා විමර්ශනය කළා” ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍ය වෙත පැවසීය.
චන්දික හතුරුසිංහ වෙනුවට ෆිල් සිමන්ස් මහතා 2025 චැම්පියන්ස් කුසලානය දක්වා තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. සිමන්ස් පෙරේදා මිර්පූර් බන්ග්ලා ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් ක්‍රීඩකයින් හමුවී පුහුණු සැසියක් ආරම්භ කර තිබේ. කෙසේ වුවද හතුරුසිංහ මහතා 2025 චැම්පියන් කුසලානය දක්වා ගිවිසුම් අත්සන්කොට ඇති බැවින් ඔහුට නීතිමය පිළිසරණ පැතීමේ හැකියාව ඇත. හතුරුසිංහ ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලය ඉදිරියේ තම චෝදනා ඔප්පු කළහොත් විශාල වන්දි මුදලක් ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සිදුවේ.
56 හැවිරිදි හතුරසිංහ බංග්ලාදේශ පුහුණුකරු ලෙස පත් කරනු ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. මෙය ඔහු කණ්ඩායමට එක්වූ දෙවන අවස්ථාව වූ අතර, බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් මහතා මෙයට සති කිහිපයකට පෙර පත්වූ වහාම ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නොබෝ දිනකින්ම තනතුරෙන් ඉවත් කරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් පුහුණුකරු භූමිකාව දැඩි ලෙස විවේචනය කළේය.
හතුරුසිංහ යටතේ බංග්ලාදේශය පසුගිය වසරේ එක්දින ලෝක කුසලානයේදී සහ මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී දුර්වල දස්කම් දැක්විය. මේ වසරේ පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශය 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කිරීම මේ ධුර කාලය තුළ ඔහුගේ හොඳම දස්කම් වේ.