ගෝලීය තිරසර පාරිසරික වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සාමාජික රටවල අවධානය යොමු කරන 2024 [Global Green Growth Index (GGGI Summit)] ගෝලීය හරිත වර්ධන ආයතනයේ උප සභාපති හා සම සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
එම සමුළුව දකුණු කොරියාවේ සෝල් අගනගරයේදී සාර්ථකව පැවැති අතර, එම උප සභාපති හා සම සභාපති ධුරය දෙවැනි වරටත් පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට හිමිව ඇත.
සාමාජික රටවල් 48 ක් අතරින් ඒ මහතාට මෙම තනතුර හිමිව තිබෙන අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, පරිසර, වනජීවී, වන සම්පත්, ජලසම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති විජිත හේරත් මහතා නියෝජනය කරමින් පරිසර, වනජීවී, වන සම්පත්, ජලසම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ සඳහා එක්ව තිබේ.
මෙහිදී රැස්වීමේ සහ කවුන්සිලයේ සභාපතිවරයා ලෙස බෑන් කී මූන් මහතා (Ban-Ki-Moon) කටයුතු කළ අතර, එම සභාව සහ කවුන්සිලයේ උප සභාපති හා සම සභාපතිවරුන් ලෙස දකුණු කොරියාවේ දේශගුණ විපර්යාස පිළිබඳ නියෝජ්‍ය ඇමැති කීයන් චුන් මහතා සහ පරිසර, වනජීවී, වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙම සමුළුවේ මුලසුන දැරීය.
එසේම, මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාවට පැරිස් සම්මුතියේ 6 වන වගන්තිය යටතේ කෘෂිකර්ම, විදුලිබල, කර්මාන්ත, ප්‍රවාහන යනාදී ක්ෂේත්‍ර 6ක දේශගුණ විපර්යාස අවම කර ගැනීම සඳහා මෙන්ම කාබන් වෙළෙඳපෙළෙහි නීති රීති බලගැන්වීම සඳහා ඩොලර් 779,000ක මුදලක් අනුමත කර තිබෙන අතර, 2024 මෙවර සමුළුව ‘අවිනිශ්චිත කාලවලදී හරිත වර්ධනය’ තේමාව යටතේ දකුණු කොරියාවේ සෝල් අගනුවර 13 වැනි සභා වාරය සහ 17 වැනි කවුන්සිලයේ ඒකාබද්ධ සැසිවාරය පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් සහයෝගීතාව සහ ඒකාබද්ධ ප්රයත්නයන් වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමට, දේශගුණික ක්‍රියාකාරකම් සහ පාරිසරික මුලපිරීම් ඉහළ නැංවීම සඳහා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ග නිර්මාණය කිරීමට සහ හරිත ආර්ථිකයක් කරා සංක්‍රමණය වේගවත් කිරීමට සමුළුව තුළින් මූලික ලෙස අරමුණු කළ අතර, ශ්‍රී ලංකාව ඒ සඳහා ගෙන ඇති තිරසර ප්රවේශයන් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.
එහිදී රටට බලපාන ආර්ථික හා බලශක්ති අර්බුදවලින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම මධ්‍යයේ, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ තීරණාත්මක අවශ්‍යතාවය සහ වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් තීරණය කළ දායකත්වය (NDC) ක්‍රියාත්මක කිරීම තුළින් රටේ හරිත වර්ධන සංක්‍රාන්තිය වේගවත් කිරීම සඳහා තීරණාත්මක අවශ්‍යතාවය සහ වැදගත්කම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය. සමස්ත, දිගු කාලීන විසඳුම මෙන්ම හරිත ආර්ථිකයකට සංක්‍රමණය වීමට සහ 2050 වසර වන විට දේශගුණික විපර්යාස ඉලක්ක සපුරාලීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම අවධාරණය කෙරුණු අතර, 2030 වන විට කාබන් විමෝචනය සියයට 14.5 කින් අඩු කිරීම සහ එහි ශුද්ධ ශුන්‍ය 2050 වසර සඳහා සැලැස්ම හරහා කාබන් මධ්‍යස්ථභාවය ළඟා කර ගැනීම ශ්‍රී ලංකාව අරමුණු කරගෙන සිටින බව මෙහිදී පෙන්වා දී තිබේ.