බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකයම ආලෝකමත් වෙනවා-ජාත්‍යන්තර අභිධර්ම දිවාස් සැමරුමට එක්වෙමින් ඉන්දීය අගමැති කියයි

බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකය නිරන්තරයෙන්ම ආලෝකමත් වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්‍යාන් භවන් හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් සැමරුම සඳහා එක්වෙමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ බව සදහන් කර තිබේ.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ බුදුන් වහන්සේගේ වදන් ලොවට දායාද කළ පාලි භාෂාවට මේ මාසයේ දී ඉන්දීය රජය සම්භාව්‍ය භාෂා තත්ත්වය ලබාදීම සැමරීම වෙනුවෙන් අභිධර්ම දිවාස් උත්සවය සංවිධානය කර ඇත.

එහිදී සිය දේශනය සිදුකිරීමට පෙර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා බුදුන් වහන්සේගේ ප්‍රතිමාවකට මල් පූජාකරන ලදි. ඊට අමතරව උත්සවයට වැඩම කළ මහා සංඝරත්නයට නමස්කාර කිරීමෙන් අනතුරුව දේශනය ආරම්භ කර තිබේ.

එම උත්සවය අමතමින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සිහිපත් කර තිබෙන අගමැතිවරයා ඉන්දීය රජය මෑතකදී පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස පිළිගෙන තිබෙන බව පවසා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. මේ හේතුවෙන් අද දිනය ඊටත් වඩා සුවිශේෂී බව ඒ මහතා පෙන්වා දී ඇත. සම්භාව්‍ය භාෂාවක් ලෙස පිළිගැනීමෙන් පාලි භාෂාවට හිමි වූ ගෞරවය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දායාදයට සහ උරුමයට උපහාරයක් බව නරේන්ද්‍ර මෝදි මහතා සිහිපත් කර තිබෙන අතර අභිධර්මය ධර්මය තුළ අන්තර්ගත වන බවත් ධර්මයේ නියම හරය අවබෝධ කර ගැනීමට පාලි භාෂාව පිළිබඳ දැනුමක් තිබිය යුතු බවත් පෙන්වා දී තිබේ.

ඊට අමතරව ධර්මයේ විවිධ අරුත් පහදා දෙමින් ධර්මය යන්නෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය සහ ධර්මය, මනුෂ්‍ය පැවැත්ම හා සම්බන්ධ ප්‍රශ්නවලට විසඳුම්, මනුෂ්‍ය වර්ගයාගේ සාමයේ මාවත, බුදුරදුන්ගේ සදාකාලික ඉගැන්වීම් සහ සුබසාධනය සඳහා ස්ථිර සහතිකයක් බව සිහිපත් කර ඇත. මේ අතර බුද්ධාගම සමඟ ඉන්දියාවේ ඓතිහාසික සබඳතාව පිළිබිඹු කරමින් කුෂිනගර් සහ ලුම්බිණිය වැනි සැලකිය යුතු බෞද්ධ ස්ථානවල සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව බෞද්ධ උරුමය පුනර්ජීවනය කිරීමට දරන උත්සාහයන් සම්බන්ධයෙන් ද සඳහන් කර ඇත.

විශේෂයෙන්ම සාමය සහ තිරසරභාවය ප්‍රවර්ධනය කිරීමේදී ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කර තිබේ.

මහින්ද අලුත්ගෙදර