අමෙරිකාවේ බුද්ධි අංශ සේවයේ “දරුණු අඩුපාඩු” – අභ්‍යන්තර වාර්තාවක් පෙන්වා දෙයි

අමෙරිකාවේ බුද්ධි අංශ සේවය ක්‍රියාත්මක වීමේ “දරුණු අඩුපාඩු” ඇති බව එරට අභ්‍යන්තර වාර්තාවකින් පෙන්වා දී ඇත.

පිටු 52කින් යුත් වාර්තාවකින් මේ බව සදහන් කර ඇති බවත් එම අඩු පාඩු කඩිනමින් විසඳිය යුතු බවත් එහි දක්වා ඇතැයි බීබීසී මාධ්‍ය වාර්තා කරයි.

අඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියකදී සිදු වූවාක් මෙන් ඝාතන උත්සාහයන් නැවත සිදුවනු ඇතැයි ද එහි අනතුරු ඇගවීමක් කර තිබේ.

ජූලි 13 වැනිදා පෙන්සිල්වේනියාවේ බට්ලර් හි සිදු වූ වෙඩි තැබීම පිළිබඳව විමර්ශනය කිරීමේ වගකීම පැවරුණු ස්වාධීන මණ්ඩලයක් බ්‍රහස්පතින්දා සිය සොයාගැනීම් නිකුත් කළ අතර, “නිලධාරීන් උදාසීන” බවට පත්ව ඇතැයි පැවසේ.

මෙම සිද්ධියත් සමඟ අමෙරිකාවේ බුද්ධි අංශ සේවාවේ අසාර්ථකත්වය පිළිගෙන ඇති අතර ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධියෙන් සති කිහිපයකට පසු අමෙරිකාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂ ඉල්ලා අස්විය.

එසේම බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකාවේ බුද්ධි අංශ සේවාවේ වැඩබලන අධ්‍යක්ෂ රොනල්ඩ් රෝව් කියා සිටියේ අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇති කරුණු පිළිබඳ අවධානය යොමු කරන බවයි. “අපි දැනටමත් අපගේ සූදානම, මෙහෙයුම් සහ සංවිධානාත්මක සන්නිවේදනයන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇති අතර හිටපු ජනාධිපතිවරයා සඳහා වැඩිදියුණු කළ ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත,” යනුවෙන් ද ඔහු පවසා ඇත.