අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සැසිවාරයට ගිය මෙරට පාර්ලිමේන්තුවේ සාමාජිකයින්

ජිනීවා හි පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 149 වැනි සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලි‍‍මේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සහභාගී වී තිබෙනවා.

අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා වන ගෝලීය කැපවීම තහවුරු කරමින් පැවති මෙම සමුළුව සඳහා රටවල් 130 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 630 කට අධික පිරිසක් සහභාගී වී ඇති බව සඳහන්.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා මෙහිදී වැදගත් රැස්වීම් සහ සාකච්ඡා මාලාවකට ද ක්‍රියාකාරීව සහභාගී වී ඇති බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරන්නේ.

ඒ අනුව ඔවුන් පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ සංගමයේ රැස්වීම, ආසියා පැසිෆික් කණ්ඩායම් රැස්වීම, තිරසාර සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටු රැස්වීම සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඇතුළු ප්‍රධාන රැස්වීම් කිහිපයකට ද සහභාගී වී තිබෙනවා.

මෙහිදී ගෝලීය වශයෙන් පාර්ලිමේන්තුවලට මුහුණදීමට සිදුවන අභියෝග සහ පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබදව කාලීන වශයෙන් වැදගත් අදහස් හුවමාරු කරගැනීම ද සිදුවී ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු කථානායකවරුන් 54 දෙනෙකු, නියෝජ්‍ය කථානායකවරුන් 36 දෙනෙකු සහභාගී වූ මෙම සමුළුවේ මන්ත්‍රීවරයන්ගෙන් 36% ක් කාන්තාවන් වූ අතර, වයස අවුරුදු 45ට අඩු නියෝජිතයින්ගේ ප්‍රතිශතය 25% ක් ලෙස දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස විවිධත්වයෙන් යුතු නියෝජිත පිරිසකගෙන් සමන්විත වූ සමුළුවේදී පාර්ලිමේන්තු භූමිකාවන්හි නියෝජනය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය සාමූහික කැපවීම අවධාරණය කළ බව සඳහන්.

තවද මහ ලේකම්වරිය සහ නියෝජ්‍ය මහ ලේකම්වරයා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති ආචාර්ය Tulia Ackson, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සහයෝගීතා වැඩසටහනේ උපදේශක Brigitte Filion සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ තිරසර සංවර්ධන ඉලක්ක වැඩසටහනේ ව්‍යාපෘති නිලධාරී උපදේශක ඉසබෙල් ඔබදියාරු Isabel Obadiaru යන මහත්මීන් සමඟ සාකච්ඡාවලට සහභාගී වී තිබෙනවා.

වඩාත් සාමකාමී සහ තිරසාර අනාගතයක් සඳහා විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන උපයෝගි කර ගැනීම තේමාව ඔස්සේ ප්‍රධාන සමුළුව පවත්වා ඇති අතර නියෝජිතයින්ට අදහස් හුවමාරු කර ගැනීමට, ගෝලීය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ තිරසාර සංවර්ධනය සඳහා පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට එම අවස්ථාව වැදගත් වූ බව සඳහන්.

ජාත්‍යන්තර සහයෝගීතාව වඩාත් ශක්තිමත් කරමින් වඩාත් හරවත් සංවාදයක් තුළින් ව්‍යවස්ථාදායක කටයුතුවල පොදු අභියෝගවලට විසඳුම් සෙවීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කිරීම මෙම සමුළුවේ මෙරට නියෝජනය මගින් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.