UGC මුල් පුටුවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන්නේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා 1990 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ද, 1997 වසරේ දී අමෙරිකා එක්සත් ජනපදයේ wayne රාජ්‍ය සරසවියෙන් ආචාර්ය උපාධිය ද ලබාගෙන ඇත.

මහාචාර්ය සෙනෙවිරත්න, ආහාරයට ගත හැකි තෙල් වර්ගවල රසායනික සහ පෝෂණ ගුණ පිළිබඳ ඉහළ නමක් දිනා සිටින පර්යේෂකයකුද වේ.

2014- 2017 දක්වා විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කර ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති වශයෙන්ද කටයුතු කර තිබේ.

මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව උප සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර මහතා පත් කර ඇති අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන රාහුල අතලගේ, ඕ. ජී. දයාරත්න, සුබ්‍රමනියම් රවිරාජ් සහ ජනාධිපති නීතිඥ කේ. සී. ඩබ්ලිව්. උනම්බූව යන මහත්ම මහත්මීහු පත් කර ඇත.