සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මැතිවරණ ප්‍රචාරණය සාර්ථක කරගන්න-හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මහමැතිවරණයේදී තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය නිසා බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ඒ සඳහා වෙනත් කිසිදු දේශපාලන හේතුවක් බලපා නැති බවත් මහමැතිවරණයක් ආසන්න මොහොතක සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරය දරමින් රට පුරා එම වැඩ කටයුතු සිදුකරගෙන යාම තමන්ට මේ මොහොතේ අපහසු බවත් ඇය කීවාය.

සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙරේදා (16) මේ බව සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේද පැවසුවාය.

පසුගිය ජනාධිපතිවරණයේදී පැවති ජනහමු ගණනාවකට සමගි වනිතා බලවේගය නියෝජනය කරමින් මා සහභාගි වුණා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කඩුවෙල ආසනයේ දේශපාලන කටයුතු මට හරියාකාරව සිදු කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම මම ඉදිරිපත් වන මහමැතිවරණය සඳහාත් මෙවර අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායකවරිය විදිහට මට වැඩ කටයුතු තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි. මුළු ලංකාවම ආවරණය වන පරිදි සිදුකළ යුතු වැඩ ප්‍රමාණයක් මා හට පැවරී තිබෙනවා. ඒ වගේම සමගි වනිතා බලවේගය ඇතුළු සමගි ජන බලවේගයේ සංවිධානවල තනතුරු අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරනවා. ඒ නිසා මෙවර මහමැතිවරණයේදී සමගි වනිතා බලවේගයේ වැඩකටයුතු වෙන කෙනෙකුට පැවරුවොත් හොඳයි කියලා මම කල්පනා කළා. ඒ නිසා තමයි මම සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට භාර දුන්නේ. නමුත් මහලේකම්වරයා එම ලියුම භාර ගැනීමට සූදානම් නැහැ. නමුත් මම මගේ මතය වෙනස් කරලා නැහැ. සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට මා තීරණය කළේ මහමැතිවරණයේදී මගේ ප්‍රචාරණ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය නිසයි. මම වගකීමක් භාරගන්නේ වැඩේ හරියටම කරන්න පුළුවන්නම් විතරක් පමණයි. ඒ වගේම සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරය දරමින් රට පුරා ඒ වැඩ කටයුතු සිදුකරගෙන යාම මට මේ මොහොතේ අපහසුයි. ඒ වගේම මම කිසිම දවසක සමගි ජන බලවේගයට හෝ සමගි ජන සන්ධානයට හානියක් කරන්න කටයුතු කරන්නේ නැහැ. සමගි ජන බලවේගය කියන්නේ අපි විශාල කැපකිරීමක් සිදුකර ගොඩනඟා ගත් දේශපාලන පක්ෂයක්. සමගි ජන බලවේගය ඉදිරියට ගෙනයාමට සහ සමගි ජන බලවේගයට ශක්තිය ලබාදීම අපි සියලු දෙනාගේ වගකීමක්. සමගි ජන බලවේගය කඩාවැටීමට බලපාන කිසිදු තීරණයක් ගන්න මම සූදානම් නැහැ. ඒවගේම සමගි ජන බලවේගය කඩා වැටීමට මම කිසිම දවසක ඉඩ ලබා දෙන්නේ නැහැ යැයි ද කීවාය.