පාස්කු ඉරිදා ප්‍රහාර වාර්තාව ආණ්ඩු­වට දෙන්න නම් ප්‍රති­ඥා­වක් දිය යුතුයි-උදය ගම්ම­න්පිල

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් තමා සතු වාර්තා ආණ්ඩු­වට ලබා දීමට නම් ඒවා ප්‍රසිද්ධ කරන බවට ප්‍රති­ඥා­වක් ලබා දිය යුතුව ඇතැයි පිවි­තුරු හෙළ උරු­මයේ නායක උදය ගම්ම­න්පිල මහතා පැව­සීය. එතෙක් තමන් සතුව ඇති වාර්තා ආණ්ඩු­වට භාර දීමට සූදා­නම් නැති බව ද ඒ මහතා සඳ­හන් කළේය.

පිවි­තුරු හෙළ උරු­මය පක්ෂ කාර්යා­ලයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ උදය ගම්ම­න්පිල මහතා,

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රයේ වාර්තාව ආණ්ඩු­වට භාර දෙන්න නම් ඒක ප්‍රසිද්ධ කරන බවට ප්‍රති­ඥා­වක් ඕනෑ. ඉදිරි දින හත තුළ ජනා­ධි­ප­ති­තුමා විසින් දැනට ප්‍රසිද්ධ කර නැති පාස්කු ඉරිදා ප්‍රහා­රය පිළි­බඳ කමිටු වාර්තා ප්‍රසිද්ධ නොක­ළොත් මම ඒවා ප්‍රසිද්ධ කරන බවට පසු­ගිය සඳුදා මාධ්‍ය හමුවේ දී ජනා­ධි­ප­ති­තු­මාට මම අන­තුරු ඇඟෙව්වා.

මේ පිළි­බඳ ප්‍රති­චාර දක්ව­මින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකා­ශක විජිත හේරත් ඇමැ­ති­තුමා කිව්වේ මා සතු වාර්තාව ආණ්ඩු­වට භාර දෙන්න දවස් තුනක් කල් දෙන බවයි. ඒ වගේම මට වාර්තා ලැබුණු විදිය සොයා ගන්නත් ඕනෙලු. මට වාර්තා ලැබුණු විදිහ නොවේ සොයන්න ඕනේ. මාලි­මාවේ නාය­ක­යන් විප­ක්ෂයේ සිටින කාලයේ ප්‍රසිද්ධ කළ යුතුයි කියලා ආණ්ඩු­වට බල කළ මේ වාර්තා දෙක බලය ලැබුණු පසු ප්‍රසිද්ධ කිරී­මට පැකි­ළෙන්නේ ඇයි කියන හේතු­වයි විජිත හේරත් මහතා රටට හෙළි කළ යුත්තේ.

මේ වාර්තා යට ගහන්න ආණ්ඩුව දක්වන උන­න්දු­වට හේතු­වයි සොයන්න ඕනි. මහ­ජ­න­තා­වට ඇත්ත දැන­ගන්න මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ඔබ­තු­මා­ගෙන් ඉල්ලු­වාම ඔබ­තුමා මට කියන්නේ වහාම මගේ ළඟ තිබෙන වාර්තා­වත් ආණ්ඩු­වට භාර දෙන්න කියලා. නමුත් මම වාර්තාව ආණ්ඩු­වට භාර දුන්නාම ඒක ප්‍රසිද්ධ කරන බවට කිසිම පොරො­න්දු­වක් නෑ. මගේ වාර්තා­වත් ආණ්ඩු­වට භාර දුන්නාට පස්සේ ආණ්ඩුව ඒක ප්‍රසිද්ධ නොකර සිටි­යොත් අපි මොකද කරන්නේ? ආණ්ඩුව කියන්නේ මේ තොර­තුරු සද­හ­ටම අබි­ර­හ­සක් කරන්න ආණ්ඩු­වට උදවු කරන්න කියලා. ඒ නිසා ආණ්ඩුව මේ වාර්තා ප්‍රසිද්ධ කරන බවට ප්‍රති­ඥා­වක් ලබා දෙන­තුරු මගේ ළඟ තිබෙන වාර්තා ආණ්ඩු­වට භාර දෙන්න මම සූදා­නම් නෑ.

මෙම වාර්තා දෙක සඟවා තබන්න ආණ්ඩුව උත්සාහ කිරීම මහ­ජන මුද­ලින් සකස් කළ වාර්තා­වල තිබෙන ඇත්ත දැන ගැනීමේ අයි­තිය ජන­තා­ව­ගෙන් උදුරා ගැනී­මක්. මහ­ජන මුද­ලින් සැකසූ වාර්තා­වක අන්ත­ර්ග­තය දැන ගැනී­මට මහ­ජ­න­තා­වට අයි­ති­යක් තියෙ­නවා. ඒ වගේම මේවා සැඟ­වීම ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වෙන්ම සහ­තික කර ඇති ජන­තා­වගේ සිතීමේ නිද­හ­සට වැට­ක­ඩුලු බැඳී­මක්. ඒ නිසා මේ වාර්තාව මා ළඟ තබා ගැනීම බර­ප­තළ අප­රා­ධ­යක් කියලා මාව බය කරන්න විජිත හේරත් ඇමැ­ති­තු­මාට බෑ. ප්‍රසිද්ධ කිරී­මට පොරොන්දු නොවෙ­නවා නම් මම මේවා භාර දෙන්නෙත් නෑ. ආණ්ඩුව මේක ප්‍රසිද්ධ නොක­ළොත් දින 7කින් පසු මම මේක අනි­වා­ර්ය­යෙන්ම ප්‍රසිද්ධ කර­නවා.

ජන­තා­වගේ තොර­තුරු දැන ගැනීමේ අයි­තිය වෙනු­වෙන් අප අද වගේම හෙටත් පෙනී ඉන්නවා. පසු­ගිය ජනා­ධි­ප­ති­වරු දෙන්නෙක්ම බල­යට ආවේ පාස්කු වින්දි­ත­යන්ට යුක්තිය ඉටු කර­නවා කියලා. විශේ­ෂ­යෙන්ම වත්මන් ජනා­ධි­ප­ති­තු­මාට විශාල ඡන්ද ගණ­නක් ලැබුණා මේ කාර­ණය සම්බ­න්ධ­යෙන් පෙනී සිටිය නිසා. ජනා­ධි­පති කාර්යා­ල­යෙන් මේ වාර්තා පිට­වුණු ආකා­ර­යයි සොයා බැලිය යුත්තේ. ජාතික ආර­ක්ෂාව අන­තු­රට වැටෙන සංවේදී තොර­තුරු වාර්තා දෙකේ ඇමු­ණු­ම්වල තිබෙන නිසා ඇමු­ණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා වාර්තා­වල සඳ­හන් වෙනවා.

ජාතික ආර­ක්ෂාව වෙනු­වෙන් හැම­දා­මත් පෙනී සිටිය විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­යෙක් විදි­හට මම මේ ඇමු­ණුම් කිසි­සේත් ප්‍රසිද්ධ කරන් නෑ. මම ප්‍රසිද්ධ කරන්නේ වාර්තා පම­ණයි. ඉමාම් වාර්තාව රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තුමා ගාව මාස තුනක් තිබුණා. කාට­වත්ම පිට වුණේ නෑ. නමුත් අනුර දිසා­නා­යක ජනා­ධි­ප­ති­තුමා බල­යට ඇවිත් සති තුනක් ගත­වෙන්න කලින් මේ වාර්තා දෙකම පිට­වුණා. ඒ කියන්නේ රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තු­මාගේ කාර්ය මණ්ඩ­ලය එතු­මාට පක්ෂ­පා­තීව කට­යුතු කළත් අනුර දිසා­නා­යක මහ­තාගේ කාර්ය මණ්ඩ­ලය එතු­මාට පක්ෂ­පාතී නෑ කියන එක නේද? ඒ නිසා මට ලැබුණු විදිය හොයන එක පැත්ත­කින් තියලා ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යෙන් මේ වාර්තා පිට­වුණේ කොහො­මද කියන එක ගැන අපේ හේරත් ඇමැ­ති­තුමා දැන්ම පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කළ යුතුයි.

මේ වාර්තා මම ප්‍රසිද්ධ කරන බව කියලා තිබෙන නිසාත් මේ වාර්තා­වල ඇමු­ණුම් විධි­යට ජාතික ආර­ක්ෂා­වට අති­ශ­යින්ම සංවේදී බුද්ධි තොර­තුරු විශාල ගණ­නක් ඇතු­ළත් වෙලා තිබෙන නිසාත් ඒවා ප්‍රසිද්ධ නොකළ යුතු බවට කමිටු විසින් නිර්දේශ කර තිබෙන නිසාත් මේ වාර්තා ප්‍රසිද්ධ කිරී­මට පෙර රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ මාව අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඇති හැකි­යාව පිළි­බඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහළ පෙළේ සාක­ච්ඡා­වක් පැවැති බව අපට ආරංචි වුණා. 2015 සිට 2018 දක්වා දූෂණ විරෝධී කමි­ටු­වට ලැබුණු දූෂණ පිළි­බඳ තොර­තුරු අඩංගු ලිපි­ගොනු මාලි­මාවේ නාය­ක­යන් ප්‍රද­ර්ශ­නය කර­මින් ළඟ තබා ගත්තා. මම දවස් හත­රක් ලිපි­ගො­නු­වක් ළඟ තබා ගැනීම බර­ප­තළ අප­රා­ධ­යක් නම් වසර නව­යක් පුරා­වට මේ ලිපි­ගොනු ළඟ තබා ගත් මාලිමා නාය­ක­යන් කෙත­රම් බර­ප­තළ අප­රා­ධ­කා­රයෝ ද? මට දඬු­වම් කරන්න කලින් ඒ අයට දඬු­වම් කරලා හිටි­යොත් හොඳ ආද­ර්ශ­යක් නේද ඇමැ­ති­තු­මනි.

වංචා දූෂණ පිළි­බඳ තමන් සතු තොර­තුරු ආණ්ඩු­වට ලබා දෙන්න කියා මාලි­මාවේ වසන්ත සම­ර­සිංහ මහතා ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් කළා. බයක් හැකක් නැතිව දැන් ජන­තාව මේ තොර­තුරු දෙන්නේ කොහො­මද? මේ තොර­තුරු දෙන්න ගිහින් ඒ ජන­තා­ව­ටත් තොර­තුරු තමන් ළඟ මෙතෙක් දව­සක් තබා ගත්තා කියලා මට වගේ දඬු­ව­මට ලක්වීමේ අව­දා­න­මක් ඇති වේද කියන සාධා­රණ බය ඇති වෙනවා නේද? ඒ නිසා දින හත­රක් වාර්තාව ළඟ තබා ගැනීම බර­ප­තළ අප­රා­ධ­යක් කියලා විජිත හේරත් ඇම­ති­තුමා කළ ප්‍රකා­ශය වහාම ඉල්ලා අස් කර ගන්න කියලා මම ඇමැ­ති­තු­මා­ගෙන් ඉල්ලා සිටි­නවා.