මහවැසි මැද කාටවත් නොපෙනී සූක්ෂමව සංචාරක නිකේතන ඉදිකිරීමට කැලේ කපලා
සැකපිට තිදෙනෙක් මාට්ටු
සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීමට වනය හෙළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු පෙරේදා (15) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය වන ජීවී නිලධාරීහු පවසති. මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟ ඉතා සූක්ෂම ලෙස කිසි අයකුට නොපෙනෙන අයුරින් වනය හෙළිකර ඇති බව පෙනී ගොස් තිබේ.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ කොන්ත්‍රාත්තුවක් මත මේ පරිසර සංවේදී කලාපය පිරිසක් විනාශ කරමින් සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත ගොස් පරීක්ෂා කර මේ වැටලීම කළ බව සීගිරිය වන ජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි අඩවි ආරක්ෂක එස්.එස්. මලින්ද මහතා පැවසීය. සීගිරිය හරහා මහවැලි ගඟට ගලා බසින යාන් ඔය දෙපස මේ ආකාරයෙන්ම ඉපැරණි වැල් සහ ගස් කපා විනාශ කර තිබෙන බව ඔවුහු පෙන්වා දෙති. මේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ වනජීවීන් දැඩි ආරක්ෂිත කලාපයට සහ යාන් ඔය රක්ෂිතයට විකුණුම්කරයක් හරහා ඉඩමට ඔප්පුවක් ඔවුන් සතුව ඇති බවය.
සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී එස්.එස්. මලින්ද මහතා සඳහන් කළේ සීගිරිය අභයභූමියේ පෞද්ගලික සහ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ඕනෑ තරම් පවතින බවය. එම ඉඩම්වල යම් ඉදිකිරීමක් හෝ කුමන කටයුත්තක් කළත් අනිවාර්යයෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබා ගත යුතු බවයි. එහෙත් මේ වනය හෙළිපෙහෙළි කිරීමට කිසිම අවසරයක් ලබාගෙන නැති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
සීගිරි පව්ව සහ පිදුරංගල පව්ව පේන මානයේ ඇති මේ පරිසර සංවේදී කලාපයේ වන අලින් මෙන්ම වන සතුන් ගහන ප්‍රදේශයක් බව ද වනජීවී නිලධාරීහු පෙන්වා දුන්හ.
මේ පරිසර සංවේදී කලාපය හෙළිපෙහෙළි කිරීම බරපතළ අපරාධයක් බව ප්‍රදේශවාසීන් ද මේ ස්ථානයට පැමිණ පෙන්වා දෙමින් කියා සිටියේ වර්තමාන රජයේ ක්‍රියාවලිය හරහා මේ සීගිරිය අධි පරිසර සංවේදී කලාපයට ව්‍යාජ හෝ ඉඩම් ඔප්පු සැකසුවේ කෙසේදැයි ඒ කවුරුන් දැයි හෙළිකර දෙන ලෙසය.
මේ පරිසර සංවේදී කලාපය වන සතුන් අලි ඇතුන් ගැවසෙන බවත් අතීතයේ සිට මේ තල්කොටේ ගම්මානයේ ජනතාව රක්ෂිත ආරක්ෂා කරගෙන සිට ඇත. ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයන් විවිධ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරියේ බලය පෙන්වමින් මේ ආකාරයෙන් පහළ සිටින රාජ්‍ය නිලධාරීන්ට පවා තර්ජනය කර ඉඩම් අත්පත් කරගෙන සංචාරක ව්‍යාපාර ස්ථාන ආරම්භ කිරීම දිගින් දිගටම සීගිරිය ප්‍රදේශයේ සිදුවන බව ජනතාව පෙන්වා දෙති.
මේ අපරාධ සිද්ධි පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීම පමණක් නොව මෙහි අත්අඩංගුවට ගෙන ඇත්තේ පරිසර විනාශය කිරීමේ කොන්ත්‍රාත් ලබා ගත් අය සහ වනය විනාශ කළ අය පමණක් බව ද පෙන්වා දෙන ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙහි මහමොළකරු පවා ජනතාවට හෙළිදරව් කිරීම කළ යුතු බවයි.
සීගිරිය වන ජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී අඩවි ආරක්ෂක එස්.එස්. මලින්ද, වන සත්ත්ව නියාමක නිලන්ත දිසානායක, එම්. රොෂාන් ගාමිණී රත්නපාල, ඊ.එන්. චාමර, ජීවන්ත ප්‍රසන්න (සිවිල් ආරක්ෂක) මහත්වරු මේ වැටලීමට එක්ව සිටියහ.