ගෝලීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් සකස් විය යුතුයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක
උපාලි කරුණාරත්න
ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පහක් සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡාවට බඳුන් කෙරිණි.
පාසල් අධ්‍යාපනය නවීකරණය, ගුරු අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය කිරීම යන කරුණු මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.
මීට අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා සහ අගමැතිවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.
ශ්‍රී ලංකාවේ ප්රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමකි. ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ සියලු පාසල් වඩා ඵලදායී පාසල් බවට පරිවර්තනය කළ යුතු අතර දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය හිමි වන පරිදි පාසල් අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානයට යොමු විය.
උසස් පෙළ සඳහා විද්‍යා, ගණිත හා තාක්ෂණ විෂය නිර්දේශ හදාරන පාසල් ප්‍රමාණය පුළුල් කිරීමට ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට දිගුකාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි
ජනපති
උපාලි කරුණාරත්න
අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගුකාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙහි ප්‍රගති සමාලෝචනයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රටම ආවරණය වන පරිදී ග්‍රාමීය දිළිඳු භාවය තුරන් කිරීම සඳහා නව පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාව ද මෙහිදී අවධානයට ලක් විය.
එම අමාත්‍යාංශවල දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.
මෙතෙක් සිදු කර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවත්, එමඟින් ග්‍රාමීය දිළිඳුභාවය කුමන මට්ටමකට විසඳී තිබේ දැයි යන්න ප්රශ්නයක්ව පවතින බව ද කියා සිටියේය.
එම නිසා ඉදිරියේදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
දුප්පත්කම යනු මුදල් නොමැතිකම පමණක් නොව, මිනිසුන් කොට්ඨාසයක් සමාජය තුළ කොන්වීම බරපතළ සමාජ ව්‍යසනයක් බව ද අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම වෙනුවෙන් ඉලක්ක සහගත වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ව්‍යාපෘති අධ්යක්ෂවරු ඇතුළු අමාත්‍යාංශ නියෝජිතයෝ එක්ව සිටියහ.
සීසෙල්ස් රාජ්‍යයේ නව නීතිපති ලෙස ශ්‍රී ලාංකේය නීතිඥ වින්සන්ට් පෙරේරා දිවුරුම් දෙයි
මහින්ද අලුත්ගෙදර
ශ්‍රී ලාංකිකයකු වන නීතිඥ වින්සන්ට් පෙරේරා මහතා සීසෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා වශයෙන් දිවුරුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ උපන් වින්සන්ට් පෙරේරා මහතා, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු, ෆීජිහි නීතිඥයකු සහ සොලිසිටර් ජනරාල්වරයකු මෙන්ම සිංගප්පූරු සමථ මධ්‍යස්ථානයේ පිළිගත් මැදිහත්කරුවකු ලෙස කටයුතු කර ඇත.
ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිපති උපාධියක් ලබා ඇති අතර, නීතිපතිවරයා ලෙස පත්වීමට පෙර සීෂෙල්ස්හි නීතිපති කාර්යාලයේ සිවිල් නඩු අංශයේ නීති උපදේශකයකු ලෙස සේවය කර තිබේ.
සීසෙල්ස් රාජ්‍යයේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වන බව දැකීමට තමා උපරිමයෙන් දායක වන බව ඒ මහතා ප්‍රකාශ කර තිබෙන අතර රටේ ක්‍රියාත්මක වන ක්රමයේ වෙනස්කම් ඇති අතර වෙනත් අධිකරණ බලප්‍රදේශවල වැඩ කිරීමේ අත්දැකීම් තුළින් තමා කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.
නීතිපති කාර්යාලයට රජයට නීති උපදෙස් ලබාදීමේ වරම ඇති අතර එය රටේ අපරාධ නඩු පැවරීමේ සේවාව බව ද ජාත්‍යන්තර ගිවිසුම්, සම්මුතීන් සහ ගිවිසුම් මෙන්ම රජය ඇතුළු අනෙකුත් සංකීර්ණ ගිවිසුම් අත්සන් කරන අවස්ථාවල නීතිමය පදනමක් සහතික කිරීම ද වැදගත් බව හෙතෙම පෙන්වා දෙයි.
ඒ අනුව සීසෙල්ස් රාජ්‍යයේ නව නීතිපතිවරයා වශයෙන් දිවුරුම් දී තිබෙන නීතිඥ වින්සන්ට් පෙරේරා මහතා ඉදිරි සිවු වසර සඳහා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබාවේ අවධානය යොමුව තිබෙනවා
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති
නුවන් කොඩිකාර
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා පැවැසීය.
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත කියුබානු රජයේ සුබ පැතුම් එක් කිරීමෙන් අනතුරුව කාර්යාලයේ පෙරේදා (15) පැවති සාකච්ඡාවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඇති වසර 65කට ආසන්න දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම, කියුබානු ආධාර යටතේ ක්‍රියාත්මක කළ දැනට නතර වී ඇති මදුරු මර්දන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාල සඳහා වෛද්‍ය හා ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳ ශිෂ්‍යත්ව පිරිනැමීම, ඇතුළු වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණ.
පසුගිය වසර කිහිපය තුළ කියුබාව මුහුණ දුන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, කියුබාව අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව කෘතඥතාව පළ කළ අගමැතිනිය, කියුබානු අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා නිල ආරාධනයක් ද සිදු කළාය.
අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
හිටපු ඇමැතිවරු රජයේ නිල බංගලා 30 වැනි දාට පෙර භාර නොදුන්නොත් වැඩවරදී
නෙරංජලා වික්‍රමසිංහ
හිටපු ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට ලබා දී තිබූ රජයේ නිල බංගලා ලබන තිස් වැනිදාට පෙර භාර නොදුනහොත් දැඩි නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව දැනුම් දී තිබේ.
හිටපු ඇමැතිවරුන් රජයේ නිල නිවාස භාරදීමේ පසුබෑමක් දක්නට ලැබෙන බැවින් මෙම තීරණය ගෙන ඇති අතර රජයේ බංගලා නැවත භාර නොදෙන හිටපු ඇමැතිවරුන්ට එරෙහිව ලබන තිස් වැනිදා වන විට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත.
හිටපු ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට කොළඹ 07 ප්‍රදේශයෙන් ලබා දී තිබූ බංගලා සංඛ්‍යාව හතළිහක් වන අතර දැනට භාරදී ඇත්තේ එයින් බංගලා 11ක් පමණි.
ලාංකේය ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අපගේ ආරක්ෂක යන්ත්රණයේ ප්‍රමුඛතම කාර්යයක්
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය අමතමින් ආරක්ෂක ලේකම් කියයි
රක්ෂණ ශ්‍රියන්ත
ජාතික ආරක්ෂාව පිළිබඳ සැලකීමේදී ලාංකේය ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අපගේ ආරක්ෂක යන්ත්රණයේ ප්‍රමුඛතම කාර්යභාරය යැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අවධාරණය කරයි.
පෙරේදා (15) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය අමතමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මේ බව ප්‍රකාශ කළේය.
එපමණක් නොව සාමයේ, ස්ථාවරත්වයේ සහ සහයෝගිතාවයේ වටිනාකම පිළිබඳව ද අප කිසිදා අමතක නොකරමු.
උපාධි ප්‍රදානෝත්සවයේ අවසන් සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගි විය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබන ආරක්ෂක ලේකම්වරයා මෙම උපාධි ප්රදානෝත්සවය සඳහා පැමිණි අවස්ථාවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) සහ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
තවදුරටත් ආරක්ෂක ලේකම්වරයා මෙසේ ද පැවසීය.
“යුද ගැටුම් නිසාවෙන් ඇති වන අහිතකර බලපෑම සහ එහි අමිහිරි මතකයන් අප සියැසින් දැක තිබෙනවා. සාමකාමී පරිසරයක් තුළ ඇති සුවකිරීමේ බලය ද අත්දැක තිබෙනවා. ඔබ ඔබේ ඉදිරි ගමනේ මීළඟ අදියරට පා තබන විට, ජාතියක් ලෙස අප අපගේ අතීතයෙන් ඉගෙන ගන්නා පාඩම් ද ඔබ සමඟ ඉදිරි දිවියට අත්දැකීමක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.”
එහිදී ජාතික ආරක්ෂක විද්‍යාලය, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය, යුද හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලය, නාවික සහ සාගරික විද්‍යා පීඨය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය යන අධ්‍යයන ආයතනවලින් මූලික උපාධි, පශ්චාත් උපාධි, මෙන්ම ආචාර්ය උපාධි පාඨමාලා සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ශිෂ්‍යභට නිලධාරීන්, දිවා විද්‍යාර්ථයින් ඇතුළු උපාධි අපේක්ෂකයෝ 1,728ක් මෙහිදී උපාධි ලබා ගත්හ.
ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 1981 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලදි. අනතුරුව එය අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට තත්ත්වයෙන් උසස් කරන ලද අතර 2009 වසරේ දී සිවිල් උපාධි අපේක්ෂකයන් හටද මෙහි අධ්‍යයන කටයුතු සිදුකිරීමට අවස්ථාව සලසා දෙන ලදි. පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ සාමාජිකත්වය දරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද වන විට විදෙස් රටවල සිසුන් ද ඇතුළුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයකට මූලික, පශ්චාත් හා ආචාර්ය උපාධි මෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවන් විශාල ප්‍රමාණයක් හැදෑරීම සඳහා අවශ්‍ය පහසුකම් සහිත අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් වී ඇත.
මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, අනෙකුත් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, හමුදා සහ පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ උපාධි අපේක්ෂයන්ගේ පවුල්වල සාමාජිකයන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.