සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංක පිල අතර තීරණාත්මක තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය අද (17) රාත්‍රී 7.00 රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ වන වන විට තරග 1-1ක් ලෙස දෙපිල සම තත්ත්වයෙන් පසුවන බැවින් තරගාවලියේ ශූරයන් අද තීරණය වනු ඇත. එබැවින් මේ තරගය ජය ගැනීමට දෙපිලම සෑම උත්සාහයක්ම දරනු ඇත.
අද තරගයෙන් චරිත් අසලංක ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසය වෙනස් කිරීමේ අවස්ථාවක් උදාවී තිබේ. ඒ ඉතිහාසයේ පළමු වරට කොදෙව් පිලට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජය ගනිමිනි. මේ කණ්ඩායම් දෙක විස්සයි20 ද්වීපාර්ශ්වික තරගාවලි ත්‍රිත්වයකදී මින් පෙර හමුව තිබේ. එහිදී 2015 වසරේ පැවති පළමු තරගාවලිය 1-1ක් ලෙස සමව නිමා වී ඇති අතර, 2019දී තරගාවලිය 2-0ක් ලෙස සහ අවසන් වරට 2021 වසරේ තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව් පිල සමත් සිටී.
පෙරේදා පැවති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 73ක විශිෂ්ට ජයක් හිමි වූ අතර, ජයග්‍රහණයේ වැඩි ගෞරවයක් හිමි කර ගැනීමට දඟ පන්දු යවන්නෝ සමත් වූයේ කඩුලු 9ක්ම බිඳ දමමිනි.
කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව කොදෙව් නායක රොව්මන් පවෙල් සහ උපනායක රොස්ටන් චේස් පැවසුවේ පළමු තරගය ක්‍රීඩා කළ තණතිලි ඉතා හොඳ බවත් දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව ඔවුන්ට වාසිදායක ලෙස තණතිලි සකසා ගත් බවත්ය. එහෙත් ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ පැවති කාලගුණ තත්ත්වය අනුව තණතිරුව එසේ හැසිරුණු බවයි.
“කාසියේ වාසිය ලැබුණත් නැතත් අපිත් මේ තණතිල්ලේ ක්‍රීඩා කරන්න ඕන. ඒක දෙගොල්ලන්ටම එකයි. තණතීරුවේ වියළි ස්වරූපයක් තිබුණා. ඒ නිසා පන්දුව හොඳින් දඟකැවෙන්න ගත්තා. මේ තත්ත්වයෙන් පන්දුවට පහර දෙන ආකාරය වෙනස් වෙනවා. ක්‍රීඩා කරන තරමට ක්‍රීඩකයන්ගේ පිතිකරණ දස්කම් වැඩි වෙනවා. ඔවුන් පහර දෙන ආකාරය වෙනස් කරනවා.” ජයසූරිය පැවසීය.
කෙදෙව් දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් ප්‍රවේශම් වීමට කටයුතු කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ඔවුන් දෙදෙනාගෙන්ම ලබා ගත්තේ ලකුණු 37ක් පමණි.
“පැතුම් සහ කුසල්ගේ සාර්ථක ආරම්භයත්, කුසල් ජනිත් වුණත් හොඳින් පන්දුවට පහර දුන්නා. ඒ නිසා අපි 160ක මුළු ලකුණු සංඛ්‍යාවකට ගියා.පිතිකරුවන් පන්දුවට පහර දීමේ අවස්ථා නිවැරදිව හුවමාරු කර ගත්තා. අපි තරගයෙන් තරගයට වෙනස් වෙන්න වෙනවා. එක තමයි ක්‍රීඩකයන්ගේ වගකීම“ යැයි පැවසූ ජයසූරිය මහතා කණ්ඩායම සැලසුම් කළෙත් ලකුණු 160ක් වැනි සංඛ්‍යාවක් බවත් නායක චරිත් කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු පැවසුවේ ලකුණු 160ක් හොඳ ලකුණු සංඛ්‍යාවක් වනු ඇතැයි කී බවත්ය.
පෙරේදා තරගයේදී තීරණාත්මක කාර්යභාරයක් එදින විස්සයි20 ජාත්‍යන්තර තරග වරම් ලැබූ දුනිත් වෙල්ලාලගේ විසින් සිදු කරන ලදි.
ඔහු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජයසූරිය “දුනිත් ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියේ ක්‍රීඩා කරපු විදිහ අපි දැක්කා. පෙරේදා පළමු වරට විස්සයි20 තරගයකට එක්වූ ඔහු ඒ අභියෝගය භාර ගත්ත විදිහ ගැන සතුටුයි. ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගෙන් මම දකින්න කැමැති ඒකයි. එයා ඒ වෙලාවේ ඕවර 4ක් යවා ලකුණු 9කට කඩුලු දවා ගන්නවා කියන්නේ ලේසි වැඩක් නොවෙයි.”
“කඩුල්ල සහාය දුන්නත් බෝල් කරන එක හරියට කරන්න ඕන. එයා පීඩනය හමුවේ එයාගේ කැරැක්ටර් එක පෙන්නුවා. එයා හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කියලා.” යනුවෙන් පැවසීය.
තරගයේ සිදු කළ වෙනස්කම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුහුණුකරු පැවසුවේ තරගයක් ජය ගැනීමට නම් හොඳම දේ කළ යුතු බවත්, හොඳම කණ්ඩායම යොදා තරග දිනා ගත යුතු බවත්ය.
වේග පන්දු යැවීමේදී වෙනස් සංකලනයකින් (වේගය අඩු වැඩි කරමින්) පන්දු යැවිය යුතු වූ නිසා නුවන් තුෂාර මේ තරගයට ගෙනා බව කී ජයසූරිය මහතා දඟ පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයකුගේ අවශ්‍යතාව මත දුනිත් මේ තරගයට කැඳවූ බවත් පැවසීය.
මේ නිසා දෙවැනි තරගයේදී සාර්ථක වූ කණ්ඩායම අද තරගයටත් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇතැයි ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.
දෙවැනි තරගයේදී කොදෙව් පිලට තෙවැනි දඟ පන්දු යවන්නකු නොසිටීම අවාසියක් බව තරගය අනතුරුව රෝස්ටන් චේස් පැවසූ අතර, ඒ අනුව කොදෙව් පිල අද තරගයට තෙවැනි දඟ පන්දු යවන්නෙක් එක් කිරීමට ඉඩ තිබේ. එය බොහෝ විට හේඩන් වොල්ෂ් වනු ඇත.