වසර තුනක් ඇතුළත බලශක්ති ඉලක්ක සපුරාගැනීමට ව්‍යාපෘති විධිමත්ව කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

ඉදිරි වසර තුන ඇතුළත බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරාගැනීම සඳහා වන ව්‍යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටද වගවීමක් ඇති බවද කී ජනාධිපතිවරයා පුරවැසියන් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ, බලශක්ති අමාත්‍යාංශයේදී පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට ඊයේ (15) පෙරවරුවේ එක් වෙමිනි.

සෙසු රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන පරිදිම ශ්‍රී ලංකාවද ප්‍රමුඛ ස්ථානයක් දී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදු වන අමාත්‍යාංශයක් බවත්, ඉහළ ඉපයීමක් ඇති විට අක්‍රමිකතා සිදු විය හැකි බවට සමාජයේ කතිකාවක් තිබෙන බවත් සඳහන් කළේය.

රටේ ආර්ථිකය බිඳවැටීම පිටුපස වංචාව, දූෂණය හා නාස්තිය පැවති බව ජනතාව විශ්වාස කරන බවත්, එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම දී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීමට ජනතාව තැබූ විශ්වාසය තමා රකින අතර, රාජ්‍ය සේවකයන්ද තම වගකීම නිසි ලෙස ඉටු කිරීමට කැප වන ලෙස ඉල්ලා සිටියේය. මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවද, ඒ ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයකුට යුක්ති සහගත අයිතියක් නැති බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැප වීම අත්‍යවශ්‍ය බවද ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. මෙවර ජනවරමේ සංයුතිය, අරමුණ හා අපේක්ෂා ඉටු කරගැනීමට රාජ්‍ය සේවකයා වගකීමෙන් හා වග වීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ දේශපාලන නායකත්වය දීමට තම කණ්ඩායම සූදානම් බවද කීය. රාජකාරි සීමාව තුළ රාජ්‍ය සේවකයා විසින් ගනු ලබන ජනතා හිතවාදි සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමා පෙනී සිටින බවත්, නොකළ යුතු දේ සිදු කළ හොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

බලශක්ති ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සවිස්තාරත්මක දීර්ඝ සමාලෝචනයක් මෙහිදී සිදු කෙරුණු අතර, ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරාගන්නා ආකාරය පිළිබඳව මෙන්ම ජනතාවට සැලසිය හැකි කෙටි සහ දිගුකාලීන සහන පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු කේ.ජී.ආර්.එ‍ෆ්. කොමෙස්ටර්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා මහත්වරුන් ඇතුළු බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.