ලංකාවේ හොඳම තේ පරීක්ෂක මොරවක තේ මහත්තයා අද විශ්‍රාම ගනී

2008 වසරේ සිට මේ දක්වා වසර දහසයකට වැඩි කාලයක් මොරවක තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරී වශයෙන් කටයුතු කළ 2024/10/16 වන දින විශ්‍රාම ලබන ගින්නලිය ගමගේ සුනිල් සරත් දේශප්‍රිය මහතා තම ආයතනයවූ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මෙන්ම තම සේවා ලාභියා වූ තේ ගොවියාටද විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ නිලධාරීයෙකි.

ඔහුගේ මෙහෙවර අගය කරමින් 2016, 2017, 2018 සහ 2021 යන වර්ෂයන්හිදී කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරී ඇගයීම් උත්සවවලදී දිස්ත්‍රික්කයේ හොඳම තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරී ලෙස ඇගයීමට ලක්වූ අතර 2021 වසරේදී ශ්‍රී ලංකාවේ හොඳම තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරී වශයෙන්ද සම්මානයට පාත්‍ර වී ඇත.

1990 දී කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවයට එක්වූ සුනිල් සරත් දේශප්‍රිය මහතා ඕපාත, නෙළුව හා දම්පහල ආදී ප්‍රදේශ කිහිපයකම සේවය කර ඇති අතර කුඩා තේ වතු හිමියන්ට වසර තිස් හතරක් අඛණ්ඩවම අමිල සේවාවක් ඉටුකළ නිලධාරියෙකි.

දේශප්‍රිය මහතා අඟුනකොළපැලැස්ස ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු වන අතර අකුරැස්ස, ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකුද වේ.